ගොවි සංවිධාන වෙත දෙන කොන්ත‍්‍රාත්වල වටිනාකම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් මිලියන 5 ක් දක්වා වටිනාකමින් යුතු කොන්ත‍්‍රාත් ගොවි සංවිධාන වෙත ලබා දීමට තීරණය කර තිබේ. වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය කි‍්‍රයාත්මකය.

ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව මේ සදහා අනුමැතිය ලබා දී ඇත.

වාරිමාර්ග අලූත්වැඩියා කිරීම, සුළු ඇල මාර්ග සම්බන්ධ සේවාවන් ප‍්‍රවර්ධනය කිරීම ඇතුළු කාරණා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැවරෙන ප‍්‍රමුඛ වගකීමකි. එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේදී මහත් බාධාවක් වී තිබුණේ ගොවි සංවිධාන වෙත ලබා දෙන කොන්ත‍්‍රාත්වල වටිනාකම රුපියල් මිලියන 2 ට පමණක් සීමා කර තිබීමය.

මෙම තත්ත්වය තුළ රුපියල් මිලියන 2 ට වැඩි වටිනාකමකින යුතු කොන්ත‍්‍රාත් විවිධ සමාගම් හා කොන්ත‍්‍රාත්කරුවන් යටතේ සිදු කිරීම මෙතෙක් පැවැති සම්ප‍්‍රදායයි.

මේ තත්ත්වය තුළ විවිධ ගැටළු ඇති වී තිබිණ. ඉදිකිරීම් නිසි පරිදි සිදු නොකිරීම හා ඒවායේ කල් පැවැත්ම පිළිබඳ ගැටළු මතු වීම ඒ අතරින් ප‍්‍රධාන වේ.

එමෙන්ම කලට වේලාවට වැඩ නිම නොකිරීමේ තත්ත්වයන්ද නිර්න්තරයෙන් වාර්තා වෙයි. සුළු වාරිමාර්ග සම්බන්ධ ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන් යටතේ සිදු කිරීමේදී ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ පවතින බරපතල ගැටළු පිළිබඳද නිරන්තරයෙන් ගොවි ජනතාවගෙන් පැමිණිලි ඉදිරිපත්වීමද නිරීක්‍ෂණය වේ.

එමෙන්ම අනෙක් කාරණය වන්නේ ලැබෙන සමස්ථ මුදල ව්‍යාපෘතිය සඳහාම වැය කරමින් හා ලාභ ලැබීමකින් තොරව ව්‍යාපෘති නිම කිරීමට ගොවි සංවිධාන සමත් වී තිබීමයි. තම වාරිමාර්ග පිළිබඳ පවතින මනා දැනුවත්භාවය උපයෝගී කර ගනිමින් ගොවි සංවිධාන අදාල ව්‍යාපෘති වඩාත් ගුණාත්මකභාවයෙන් යුතුව නිම කිරීමට සමත් වී තිබේ.

මෙම තත්ත්වයන් හදුනාගැනීමක් කර තිබුණද ගොවි සංවිධාන වෙත ලබා දීමට හැකිය තිබුණේ රුපියල් මිලියන 2 ක වටිනාකමිකින් යුතු කොන්ත‍්‍රාත් පමණි. කෙසේ වෙතත් නව තීරණයට අනුව රුපියල් මිලියන 5 ක් දක්වා වටිනාකමින් යුතු කොන්ත‍්‍රාත් ගොවි සංවිධාන වෙත ලබා දීමට හැකි වාතාවරණය මේ වන විට සකස් වී තිබේ.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ගොවීන් දන්නා දේ ගොවීන්ටම සිදු කර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් ගැටළු රැසකට විසදුම් ලැබෙන බවය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා අනෙකුත් තාක්‍ෂණික කාරණා ලබා දීම රජය යටතේ සිදු කිරීම ප‍්‍රමාණවත් බවත් මෙම ඉදිකිරීම් සිදු කිරීමේ වගකීම ගොවි ජනතාවට ලබා දීම තුළ අදාල ප‍්‍රදේශවල රැකියා උත්පාදනයක් සිදුවන බවත් ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *