මුහුදු පසැඟිල්ලන් පිළිබඳව නාරා ආයතනයෙන් පර්යේෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර මුහුදේ පසැඟිල්ලන් පිළිබඳ ව වහාම පර්යේෂණයක් සිදු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරා ආයතනයට උපදෙස් ලබා දී ඇත.
නැගෙනහිර මුහුදු තීරයේ කොරල්පරවලට විශාල වශයෙන් හානි සිදුකරන පසැඟිල්ලන් (Star Fish) විශේෂයක් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට වාර්තා වීමෙන් අනතුරුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන ඇත.

මෙම පසැඟිල්ලන් විශේෂය කොරල්පරවලට ඉතාමත් දරුණු ලෙස හානී සිදු කරන අතර ඔවුන් විසින් නිකුත් කරන රසායනික එන්සයිමයක් නිසා කොරල්පර දිරා ගොස් විනාශ වන බව වාර්තා වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගියදා අමාත්‍යංශයේ පැවති උපදේශක රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළ අතර මෙම පසැඟිල්ලන් ව්‍යාප්ත වීම පිළිබඳව වහාම විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කරන ලෙස නාරා ආයතනයට සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.

තවද එම පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලබා ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

මීට වසර කිහිපයකට පෙර ද මේ අන්දමින් පසැඟිල්ලන් ව්‍යාප්තිය සිදු වු අතර එම අවස්ථාවේදි ද ඔවුන්ගේ ව්‍යාප්තිය අඩාල කරවීම සඳහා පියවර ගනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *