අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – 2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් ලෙස ගණන් බලා තිබේ.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ අයවැය වාර්තාව නොවැම්බර් මස 09 වැනි දා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලැබේ. ශක්තිමත් ආර්ථිකයක්, පොහොසත් රටක් බිහිකර ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති ජනතා අපේක්ෂා අනුව හැඩගැස්වීමට අවශ්‍ය යෝජනා මෙම අයවැය යෝජනා අවස්ථාවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනාවරණ කිරීමට නියමිත ය.

අයවැයට ඇතුළත් කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා ඔක්තෝබර් මස 18 වැනිදා දක්වා භාර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *