IDH රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රෝහල් සංවර්ධන කම්ටුව සංවිධානය කළ “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත “සණස” සංගම් ශාලාවේ දී පසුගිය 07වනදා පස්වරුවේ පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.

“2016 වර්ෂයේ දී හා 2017 වර්ෂයේ දී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම වැඩි අගයක් දක්නට ලැබුණා. රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ජාතික බෝවන රෝග විද්‍යායතනය, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ඇතුලු දිවයින පුරා රෝහල්වලින් ප්‍රතිකාර සේවා විධිමත්ව සිදුවීම හේතුවෙන් රෝගය පාලනය වුණා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඇඳන් 180 ක් තුළ රෝගීන් 600 ක් පමණ සිටියා. කාර්ය මණ්ඩලය සාමූහිකව වැඩ කළා. රෝහලට අවශ්‍ය සියලු ම දේවල් අමාත්‍යාංශය මගින් මම ලබාදුන්නා. රෝගීන්ට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව තාවකාලික ගොඩනැගිලි ඉදිකර දුන්නා. සියලු දෙනා එකමුතුව වැඩ කළ යුතුයි. අපි වැඩ වර්ජන කරනවා කියලා වැඩවර්ජනවලට දායක නොවන වෛද්‍යවරුන් ද සිටිනවා. දීප්තිමත් ඉතිහාසයක් ඇති සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව සතු වෙනවා. එම සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගන්නවා” යැයි ද පැවසීය.

“අයි.ඩි.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය බෝවන රෝග ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියේ දී නම් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නවා. මාස 06 ක් තුළ ඒ සඳහා අවශ්‍ය සැලසුම් මා වෙත ලබාදෙන්න. එවිට මුදල් වෙන් කරන්නම්. මෙම රෝහල සංවර්ධනය කළ යුතුයි. ඉදිරියේ ඇති වන විවිධ රෝගවලට මුහුණ දිය යුතු පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මෙම රෝහලේ සේවකයින් ඩෙංගු වසංගත කාලයේ දී කළ සේවාව මම අගය කරනවා. රෝගීන් ගැන සිතා පළමුව කටයුතු කිරීමත්, දෙවනුව තමන් ගැන සීතීමත් සෞඛ්‍ය සේවාවටම ආදර්ශයක්” යැයි ද කීය.

මෙහිදී රෝහල් කමිටුව විසින් සකස් කරන ලද සම්මාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිමුතු රත්නායක මහත්මිය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා ඇතුලු වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *