ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ගෙවතු 800,000 ක්

(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙහෙයවීමෙන් ගෙවතු අට ලක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

“එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු” ජාතික ආහාර නිෂ්පපාදන සංග්‍රාමය 2017 වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන මෙහෙයවයි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා සියලුම රජයේ නිල නිවාසවල ගෙවතු වගා ආරම්භ කිරීමට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

එයට අමතරව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ග්‍රමා නිලධාරීන් 14,000 ට තම ගෙවත්තේ ද වගා කටයුතු ආරම්භ කිරීමට උපදෙස් දී ඇති බවත් ඒ අනුව ග්‍රාම නිලධාරීන් අවම වශයෙන් 10,000ක් පමණ ගෙවතු වගා ආරම්භ කරනු ඇතැයි ද අමාත්‍යවරයා පවසයි. සංවර්ධන නිලධාරීන්ගේ පුද්ගලික ගෙවතු 10,000ක් හා සමෘද්ධි නිලධාරීන්ගේ පුද්ගලික ගෙවතු 10,000ක් මෙම වැඩසටහන යටතේ වගා කිරීමට ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

එමෙන් ම ග්‍රාම නිලදාරීන්ගේ මෙහෙයවීමෙන් වෙනත් ගෙවතු 250,000ක්, සංවර්ධන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් වෙනත් ගෙවතු 250,000ක් හා සමෘද්ධි නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් තවත් ගෙවතු 250,000ක් බැගින් ගෙවතු 750,000ක් මෙම ජාතික වැඩසටහන යටතේ වගා කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.

”ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ රජයේ නිලධාරීන්ගේ දිනය ඔක්තෝබර් මස 11 වැනිදාට යෙදී තිබෙනවා. ඒ අනුව අපි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කළා. අපි සියලුම රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා ආහාර නිෂ්පාදනයේ වැදගත්කමත් වස විස නැති ආහාරවල වැදගත්කමත් සළකා තමන්ට ඉඩකඩ තිබෙන ආකාරයෙන් ගෙවතු වගා ඇති කරන්න කියා. ඒ වගේම සෑම කාර්යාල පරිශ්‍රයක ම ඉඩ තිබෙන සෑම තැනක ම මේ වගාවන් ඇතිකළ යුතුයි. අපි මේක කරන්නේ මෙම වැඩසටහන පමණක් ඉලක්ක කරගෙන නොවෙයි. මෙය දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබෙනවා. එහි දී හොඳම ගෙවතු තෝරා ඇගයීමක් කිරීමේ වැඩපිළිවෙලක් ද අපි සැළසුම් කරනවා. ”

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ආපදා අවස්ථාවේ දී දිවයිනේ විශාල ප්‍රදේශයක නියඟය තිබිය දී තවත් ප්‍රදේශයක් ජලයෙන් යටවූ බවයි. මෙවැනි ආපදා තත්ත්වයන් හමුවේ වගා විනාශය වළක්වාගැනීමට නොහැකි බවත් රටේ සියළු ජනතාව ඒකරාශී වී මේ තත්ත්වයට මුහුණ දිය යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 6 =