වැලිකතරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ පලමු රට ශ්‍රී ලංකාවයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

මෙම ජයග්‍රහණයත් සමගින් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජයගත්තේ ද ශ්‍රී ලංකාවයි.

වැලිකතරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ පළමු රට ලෙස ද ශ්‍රී ලංකාව වාර්තා අතරට එක්විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා මෙරට නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 482ක් ලබා ගත්තාය.

ඊට පිළිතුරු ලෙස පාකිස්තානයට පළමු ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 262ක් පමණි. මේ අනුව ලකුණු 220ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත්විය.

මේ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය හඹා යාමේදී පාකිස්තාන දෙවන ඉනිමේ ඉදිරි පෙළ කඩුලු පහම ලකුණු 52ක් තුළ දැවී ගියේය. අනතුරුව අසාඩ් ශාෆික් සමගින් පිටියේ එක්වූ නායක සෆ්රාස් අහමඩ් හය වන කඩුල්ලට පාකිස්තානය ටෙස්ට් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින් ලකුණු 173 ක අනගි සබඳතාවක් ගොඩනැගීය.

එය බිඳ දමමින් තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට ගෙන ආවේ දිල්රුවන් පෙරේරා ය.

පාකිස්තානය දෙවන ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 248ක් පමණි. ඒ අනුව ලකුණු 68ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිවිය. දිල්රුවන් පෙරේරා මෙම ඉනිමේ කඩුලු 5 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරය සම්මාන දෙකම දිනා ගත්තේ දිමුත් කරුණාරත්නය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *