නාමල් රාජපක්ෂ ඇතුළු 06දෙනා ලබන 16වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 06දෙනෙකු මේ මස 16වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ(10) පස්වරුවේ හම්බන්තොට පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඊයේ පස්වරුවේ හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන්ට දැනුම් දී තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ලබන 25 වන දිනෙන් පසු දිනයක් ලබාදීමට හම්බන්තොට පොලීසිය පසුගිය 09වනදා එකඟතාව පළ කර තිබුණි.

එනම් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට පොලීසිය වෙත ගිය අවස්ථාවේදී ඔහුට නැවත දිනයක් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඔහු ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට ඊයේ දිනයේ පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණ ද ඊයේදිනයේ සහභාගීවිය නොහැකිවීම හේතුවෙන් ඊයේ දිනයේ ඒ මහතා පොලීසියට ඉදිරිපත් වූ බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට නැවත දැනුම්දීමක් කර තිබුණි.

ඊට අදාළව ඒ මහතා ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනාද පොලීසිය හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් පසුව ඔවුන් ඇතුළු 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ඩී.වී චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හටද ඊයේ හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබුණි.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන්ට ද 09වනදා හම්බන්තොට පොලීසිය වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබුණි.

උපාලි කොඩිකාර මහතා සහ මේජර් අජිත් ප්‍රසන්න මහතාට 09වනදා සහභාගීවිය නොහැකි බව පොලීසියට දැනුම්දී තිබු අතර ඔවුන් සියල්ලන් ඊයේ පොලීසිය හමුවේ පෙනී සිටි අතර ඊයේ පස්වරුවේ ඔවුන් අත්අඩංගුවට ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *