වසර දහයකට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට ස්ථාන මාරු

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වීම ඇනහිට තිබූ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වහා කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් අනුව, එකම ජාතික පාසලක වසර 10කට අධික කාලයක් සේවය කළ ගුරුවරුන් 12,000ක පිරිසක් අතරින් 3,000කට ආසන්න පිරිසක් හෙට(12) සිට වෙනත් ජාතික පාසල් වෙත මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වඩාත් ප්‍රශස්ත ගුරු උපයෝජනයක් මඟින් අධ්‍යාපන පද්ධතියේ ප්‍රමුඛතම මානව සම්පත යොදවාගැනීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දීර්ඝ කාලයක් එක ම පාසලක සේවය කිරීම නිසා ඇතිවන ඒකාකාරීබව දුරුකරමින් නව අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සැලසීම හා එමඟින් ගුරුභවතුන්ගේ රාජකාරී අත්දැකීම් පරාසය පුළුල් කිරීම ඇතුළු අරමුණු කිහිපයක් ඉටු කරගැනීම මෙම ජාතික ගුරුමාරු වැඩසටහනේ අපේක්ෂාව වේ.

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අදාළව ගුරුවරුන් සඳහා ස්ථානමාරු ලබාදීම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමුවැන්නට අදාළව අ.පො.ස උසස් පෙළ පන්තිවලට අදාළව ඉගැන්වීම සිදුකරන ගුරුවරුන් 3,000කගේ ස්ථාන මාරු හෙට සිට (12) සිදුවේ. ඊට අදාළ ලිපි අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත හෙට දිනයේ දී භාරදීමට නියමිතය.

මීට අමතරව ජාතික පාසල්වල වසර 10කට අධික කාලයක් සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 2018 වසරේ ජනවාරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි දී 1 සිට 11 ශ්‍රේණි දක්වා වන ගුරුවරුන් 9,000කට ස්ථාන මාරු ලබාදීමට නියමිතය. මෙලෙස ගුරුවරුන් මාරු කිරීමේ දී ඇතැම් දුෂ්කර ප්‍රදේශවල ජාතික පාසලක් සමීපයේ තවත් ජාතික පාසලක් නොමැති අවස්ථාවල දී පළාත් සභා සමඟ ද ඒකාබද්ධව අදාළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස්කිරීමට නියමිතය. මේ වනවිට ජාතික පාසල් 353 හි ගුරුවරුන් 37000කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉන් 1/3ක් , එනම් 12000කට ආසන්න පිරිසක් වසර 10කට වඩා එකම පාසලක සේවය කර තිබීම විශේෂත්වයකි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පසුගිය කාලය තුළ විවිධ දේශපාලනික සහ පටු වාසි අපේක්ෂාවෙන් කටයුතු කිරීම හේතුවෙන් ගුරුවරුන් මාරුකිරීමේ ක්‍රමවේද විධිමත්ව සහ විනිවිදභාවයෙන් සිදුනොකිරීමෙන් පද්ධතිය තුළ විෂමතාවන් රැසක් නිර්මාණය වී තිබූ බවය. එබැවින් වඩාත් විනිවිදභාවයෙන් යුක්තව මාරු මණ්ඩල පිහිටුවමින් ගුරු සංගම් ද සම්බන්ධ කරගනිමින් අදාළ ස්ථාන මාරු ලබාදීමට තමා උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *