උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සේවයේ ගුණාත්මක බව වැඩි කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –පුද්ගලයකුගේ උපත මරණය හා විවාහය යන මංගල කාරණා තුනේ දී ම එය නීත්‍යානකූළ කිරීමට සිය සියලු පුද්ගලික උවමනා එපාකම් පසෙකලා කැපවී සිටින උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සේවාවේ ගුණාත්මක බව වැඩිකිරීමට රජය කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා (10) බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ පැවැති කොළඹ දිස්ත්‍රික් උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සංගමයේ සංවත්සරික උත්සවයට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

‘ මෙය ඉතාමත් භාර දූර කාර්යයක්. දරුවකු උපත ලැබූ විට, විවාහය සිදුවන අවස්ථාවේ වගේ ම පුද්ගලයකුගේ මරණය සිදුවූ අවස්ථාවේ දී ද එයට නීත්‍යානුකූළ බව ලබා දෙන්නේ රෙජිස්ට්‍රාර්වරු විසින්. මෙය ගරු සේවයක්. මෙහි නිරතව සිටින ඔබ තමන්ගේ සියලු පුද්ගලික උවමනා එපාකම් පසෙක දමා නොපැකිළව, ඉතා වගකීමක් සහිතව මේ සේවාව ලබාදෙන්න දක්වන දායකත්වය මා ඉතා අගයකොට සළකනවා. මේ සේවයේ නිරත වූ සියලු දෙනා දැඩි දුෂ්කරතා මධ්‍යයේ තමයි මෙය කරගෙන යන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි ඇගයීමක් සිදු වූයේ නැහැ. අපි රජයක් ලෙස මේ ගැන දැඩි අවධානයක් යොමු කරලා මේ සේවාවේ නිරත වූ සියලු දෙනා වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නත්, ඒ සේවාව නිසි ඇගයීමකට ලක්කරන්නත් කටයුතු කරනවා. තවත් දෙයක් ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. මේ ලියාපදිංචි කටයුතු ආරම්භ කළේ අධිරාජ්‍ය පාලනය තිබූ කාලයේ. සුළු සුළු වෙනස්කම් සිදුවුණත් තවමත් පවතින්නේ ඒ ක්‍රමවේදයන් මයි. මේ සේවාවේ ගුණාත්මක බව වැඩි කරන්නත් රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේ ම මගේ ස්තූතිය ඔබ සියළු දෙනාට හිමිකර දිය යුතුයි. තමන්ගේ සේවාව සිදුකරණ සියළු දෙනා කොළඹ දිස්ත්‍රික්කය ලෙසත් සමස්ථ ශ්‍රී ලංකාව ලෙසත් එක්ව මේ සේවාව පවත්වාගෙන යාමට සාමූහිකව කටයුතු කිරීම. එමගින් සේවාව තවත් ශක්තිමත් කරන්නට ඔබටත් හැකියා ලැබෙනවා.”

මෙහි දී කොළඹ දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකවන්ගේ සේවය අගයමින් තිළිණ ප්‍රදාන කිහිපයක් සිදුකෙරිණි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *