ඉන්දීය ධීවර ගැටලුව ගැන තුන්වන සාකච්ඡා වටය නවදිල්ලියේ දී

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී බොටම් ට්‍රොලින් ගැටලුවට විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවන් හි තවත් වටයක් හෙට (14) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡා වටය අමාත්‍ය මට්ටමෙන් Ministerial level discussion පැවැත්වෙන තුන්වන සාකච්ඡා වටයයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ඉන්දීය රජයේ කෘෂිකර්ම හා ගොවි සුබසාධන අමාත්‍ය ශ්‍රී රාධා මොහාන් සිං මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අදිකාරි මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා හා ඉන්දීය රජය නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් ද මෙවර සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය.

දකුණු ඉන්දීය නීති විරෝධී බොටම් ට්‍රොලින් ගැටලුවට විසදුමක් සෙවීම පිණිස පැවැති සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් ඉන්දීය රජය මේ වනවිට ඉතාමත් සුබවාදී පියවර රැසක් ගෙන ඇත. ඒ යටතේ බොටම් ට්‍රොලින් සඳහා බලපත් නිකුත් කිරීම අත්හිටුවීම, එම කර්මාන්තයේ යෙදුන ධීවරයින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීම, වෙනත් ජීවනෝපාය මාර්ගවලට ධීවරයින් යොමු කිරිම හා නීති විරෝධී බොටම් ට්‍රොලින්වල යෙදුන ධීවරයින් අත් අඩංගුවට පත් වු පසුව ඔවුන් මුදා ගැනීමට මැදිහත් නොවීම ද ඒ අතර වේ.

ඉන්දීය රජයේ විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසා ඇති පරිදි මේ වනවිට බොටම් ට්‍රෝලින් ගැටලුවට විසඳුම් ලබා දීමට ඉන්දීය රජය විසින් ඉන්දීය රුපියල් බිලියන 15ක මුදලක් වෙන් කර ඇත.

ඉන්දීය රජයේ මෙම සුබවාදී පිළිවෙතට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය ද 2015 දී ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 42ක් මේ වනවිට නිදහස් කිරීමට ද පියවර ගෙන තිබේ.

කෙසේ වුවද වසර 35කට ආසන්න කාලයක් තිස්සේ පැවැති මෙම ගැටළුවට විසඳුම් සෙවීමට වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙල ඉතාමත් සාර්ථක ව ඇති බවත්, දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරමින් ඊට අවතීර්ණ වන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *