ටැම්පිට විහාර සංරක්ෂණයට ජනපති මැදිහත් වේ

(කොළඹ, ලංකාපුවත්) – බෞද්ධ විහාරාංග සම්ප‍්‍රදායේ සුවිශේෂී නිර්මාණයක් වන ටැම්පිට විහාරවල සංරක්ෂණය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ශී‍්‍ර ලංකාවේ ටැම්පිට විහාර සංරක්ෂණය පිළිබඳ අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

ටැම් හෙවත් කුලුනු මත ඉදිකළ විහාර ගෙවල් ටැම්පිට විහාර ලෙස හැඳින්වේ. ශී‍්‍ර ලංකාව තුළ මෙම විහාර සම්ප‍්‍රදාය නුවර සහ ගම්පොළ යුගයන්හි ප‍්‍රචලිතව පැවතිණි. එකල සමාජ ජීවිතයේ හරස් කඩ ටැම්පිට විහාර සම්ප‍්‍රදාය හරහා විද්‍යාමාන වේ. ශී‍්‍ර ලංකාවේ ටැම්පිට විහාර 204 ක් මේවන විට හඳුනාගෙන තිබෙන අතර, ඉන් 06 ක සංරක්ෂණ කටයුතු නිමවා තිබේ. තවත් ස්ථාන 85 ක ප‍්‍රමුඛතාවය අනුව සංරක්ෂණ කටයුතු සිදුකරමින් පවතී.

මෙම කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත සහ අරමුදල් නොඅඩුව ලබාදෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ සංකථන පර්යේෂණ කේන්ද්‍රය විසින් සම්පාදනය කරන ලද, ශී‍්‍ර ලංකාවේ ටැම්පිට විහාර පිළිබඳ පර්යේෂණ ග‍්‍රන්ථයක් ද පසුගියදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වු අතර එහි ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ටැම්පිට විහාර සංරක්ෂණය කරමින් පවත්වාගෙන යාම සඳහා ගිහි පැවිදි භාරකරුවන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ටැම්පිට විහාර සඳහා ඒවායෙහි ඓතිහාසික තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය, දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා ටැම්පිට විහාර නැරඹීම වෙනුවෙන් සංචාරක මාර්ග සකස් කිරීම හා ප‍්‍රසිද්ධ කිරීම ඇතුළු වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථානවල ආරක්ෂාව සහ සංරක්ෂණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක් විය.

විශේෂයෙන් වන සංරක්ෂණ ප‍්‍රදේශවල සහ ජනශූන්‍ය දුෂ්කර ප‍්‍රදේශවල ඇති පුරාවිද්‍යා ස්ථාන සොර සතුරන්ගේ කි‍්‍රයාවන් හමුවේ විනාශ වෙමින් පවතින අතර මෙම ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ පුරවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයින පුරා ඇති පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සඳහා මේ වන විට සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබෙන අතර එම කටයුතු තවදුරටත් පුළුල් කිරීමට ද ජනාධිපතිතුමා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දුන්නේය.

බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිපති පූජ්‍ය පඩිවෙල සෝරත නායක ස්වාමීන්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න මහතා සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් ද, පොලිස්පති පූජිත ජයසුන්දර, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ද, කැලණිය විශ්වවිද්‍යාලයේ සංකථන පර්යේෂණ කේන්ද්‍රයේ පර්යේෂණ සහකාර ගංගා රාජිණි දිසානායක මහත්මිය ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *