කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇ.එ.ජ.ඩොලර් මිලියන 18ක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) මඟින් කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇ.එ.ජ.ඩොලර් මිලියන 18 අමතර ණය මුදලක් ලබා දෙයි.
සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3000ක නව වාරි ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත සිදු කරන ලද සැලසුම් සංශෝධනයන් නිසා ඉහල ගොස් ඇති බැවින් ඉහත පාර්ශවකරුවන් විසින් සපයන ලද අරමුදල් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා ප්‍රමාණවත් නොවන බව හදුනාගෙන ඇත.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් හිඟයෙන් කොටසක් මූල්‍යනය කිරීම සඳහා ඇ.එ.ජ.ඩොලර් මිලියන 18ක අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත. අරමුදල් හිඟයෙන් ඉතිරියෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල සමග ගිවිසුමකට එළඹ ඇත. අරමුදල් හිඟයෙන් ඉතිරිය සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් ලබා ගැනීමට නියමිතය.

ඇ.එ.ජ.ඩොලර් මිලියන 18 ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2017 ඔක්තෝබර් මස 13 වන දින ඇමෙරිකාවේ වොශින්ටන්හි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල් කාර්යාලයේදී අත්සන් කරන ලදි.

ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා අත්සන් කළ අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් සුලෙයිමාන් ජේ අල්-හර්බිෂ් මහතා අත්සන් කරන ලදි. ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *