ජපාන රැකියා ගැන කියා හාර කෝටියක වංචාවක් – කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 04කට අධික මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් 50කට වැඩි පිරිසකගෙන් මුදල් ලබා ගත්ත ද එම රැකියා ලබා නොදුන් බවටව පුද්ගලයෙකු විසින් ඔක්තෝබර් 13වනදා කාර්යංශයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී නිලධාරීන් සිදු කළ රහසිගත ආවේක්‍ෂණ විමර්ශණයකින් අනතුරුව පසුගිය 14වනදා කඩවත ප්‍රදේශයේ දී අදාළ 45 හැවිරිදි සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගන්නා මොහොතේ දී ඇයගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 80ක්, ජපානයේ රැකියා සදහා රැකියා එකඟතා ගිවිසුම් විශාල ප්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප්‍රකාශ ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ. එසේම එහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 14ක් ද සොයා ගෙන ඇති අතර ඒ අතර ජපාන නොතාරිස් මුද්‍රා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මුද්‍රා 02ක් ද හමුවී ඇත.

මෙම කාන්තාව ඒක අයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 07ත් 09ත් අතර මුදලක් ලබා ගෙන ඇත.

මෙම රැකියා ඡාවාරම පිළිබද තොරතුරු අනාවරණය ළුීමෙන් පසුව එයට හසුවූ පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කරමින් සිටී. ඒ අනුව සැකකාරිය වංචාකළ මුළු මුදල රුපියල් කෝටි 10කට අධික විය හැකි බව විමර්ශන නිලධාරීන් විශ්වාස කරන බව විදෙශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

මෙම සැකකරිය ඊයේ(15) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔක්තේබර් 19වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම ඡාවාරමට සම්බන්ධ එක් සැකකරුවෙක් විදේශ ගතව ඇති අතර තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

අදාළ සැකකාරිය කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ජපන් භාෂා ගුරුවරියකි. එසේම ඇය ජපන් භාෂා විශේෂ උපාධියකට හිමිකාරිණියක වන අතර මීට පෙර අධ්‍යාපන වීසා මත සිසුන් ජපානයට යොමු කර තිබේ. ඇය 2012 වසරේ සිට මෙම රැකියා ඡාවාරම මෙහෙයවා ඇත.

එසේම මෙවැනි වංචා සම්බන්ධ තොරතුරු ඇත්නම් 009411-2879900, 009411-2879901, 009411-2879902 යන කාර්යංශයේ දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබේ.

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =