අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට කැපවිය යුතුයි – ජනාධිපති

(කොළඹ, ලංකාපුවත්) – සමඟිය අප රටට පමණක් නොව මුළුමහත් ලෝකයේම පැවැත්මට අත්‍යවශ්‍ය වී ඇති අද දවසේ ශ්‍රී ලාංකිකයන් වන අප ජාති ආගම් කුල වශයෙන් බෙදී වෙන්වීම වෙනුවට සහජීවනයත් සංහිඳියාවත් මත පදනම් වූ ගැඹුරු බැඳීමක් හා අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට කැපවිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දීපවාලී දිනය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපතිතුමා විසින් නිකුත් කළ සම්පූර්ණ සුභ පැතුම් පණිවුඩය.

ලෝකවාසී හින්දු බැතිමතුන් ස්වකීය ආගමික මඟපෙන්වීම මත අයහපත හා අවිද්‍යාව නැමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත් නිවසත් කෝවිලත් ආලෝකවත් කරමින් සමරන දීපවාලී උළෙල වෙනුවෙන් සුබපැතුම් එක්කරන්නට ලැබීම පිළිබඳ බෙහෙවින් සතුටට පත්වෙමි.

මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පිය මනින්නටය. එසේම මිනිසා ස්වකීය ජීවන චක්‍රය හැඩගස්වා ගන්නේද ආලෝකය පදනම් කරගෙනය. මිනිසාගේ ලෞකික ජීවිතයට මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයට ද ආලෝකය බෙහෙවින් වැදගත් වෙයි.ඒ අර්ථයෙන් දීපවාලී දිනයේ හින්දු බැතිමතුන් දල්වන පහනේ ආලෝකයෙන් ඔවුන්ගේ හදවත් ආලෝකවන්නා සේම එයින් අප රටේ වෙසෙන සෙසු ජනවර්ගයන්ගේ හදවත් ද ආලෝකවත්වී මෙරට සියලු ජනවර්ග එකට එක්කරන ආලෝක මාවතක් බවට පත් විය යුතුය යන්න මාගේ ප්‍රාර්ථනාවයි.

සමඟිය අප රටට පමණක් නොව මුළුමහත් ලෝකයේම පැවැත්මට අත්‍යවශ්‍ය වී ඇති අද දවසේ ශ්‍රී ලාංකිකයන් වන අප ජාති ආගම් කුල වශයෙන් බෙදී වෙන්වීම වෙනුවට සහජීවනයත් සංහිඳියාවත් මත පදනම් වූ ගැඹුරු බැඳීමක් හා අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර ගැනීමට කැපවිය යුතුය. දීපවාලී අප වෙත පැමිණෙන්නේ අප වෙලී හිඳිනා ආධ්‍යාත්මික අන්ධකාරයෙන් මිදී මනුෂ්‍යත්වයේ උත්තර අරමුණු වෙත යොමු කිරීමක් ද සමඟිනි.

ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලෝකවාසී හින්දු ජනයා මහත් බැතියෙන් හා අසිරියෙන් යුතුව සමරන දීපවාලී උළෙල එය සමරන්නා වූ සෑමදෙනාටම සතුට්ත සෞභාග්‍යයත් අත්කර දෙන අතරම ඒ සෑම දෙනාගේම ජීවිත ආලෝකව්ත කරන්නක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *