“අශෝකපුර නිවාස ව්‍යාපෘතිය” ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ණය ගෙවීමට බය නැති රජය ඉදිරි වසර දෙකේ රුපියල් කෝටි ලක්‍ෂ තුනක මුදල ගෙවන අයුරු ලබන 09 වනදා මුදල් අමාත්‍යවරයා රටට හෙළි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නාත්තණ්ඩිය මානිංගල අශෝකපුර උදාගම්මාන ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ(19) මේ බව කියා සිටියේය.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකෙරුණු හතළිස් තුන් වන උදාගම්මානය මෙයයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උදාගම්මානය විවෘත කෙරුණි. මෙහි බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේද මීට සමගාමීවය.

අග්‍රාමාත්‍යවරයා නව නිවාස නිරීක්‍ෂණය කරමින් ජනතාව සමඟ සුහද පිළිසඳරක ද නිරත විය. ගම්මානය නව නිවාස 98කින් සමන්විතය. නිවාස ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් මිලියන 76.35කි. සියලු පහසුකම්වලින් සමන්විතව නිවාස ඉදිකර තිබේ. අක්කර දහයක භූමි භාගයක ඉදිකෙරුණු මෙම ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 12ක ගෙවත්තකින් ද සමන්විත වීම විශේෂත්වයකි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 450කට ස්වයං රැකියා උපකරණ ලබ දීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

අමාත්‍ය එස් බී නාවින්න, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 3 =