පැනමා දුෂණ හෙළිකළ මාධ්‍යවේදිනිය කාර් බෝම්බ ප්‍රහාරයකින් මරුට

(කොළඹ, ලංකාපුවත්) –මෝල්ටා ආණ්ඩුවේ දූෂණ විවේචනයට ලක් කළ මුල්පෙළේ ‘බ්ලොග්’ මාධ්‍යවේදිනියක් (blogger) කාර් බෝම්බ ප්‍රහාරයකින් මරා දමා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පනස් තුන් හැවිරිදි මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලිෂියා (Daphne Caruana Galizia) මරා දමා ඇත්තේ කාර් බෝම්බ ප්‍රහාරයකින්ය යන්න මෝල්ටා පොලිසිය විසින් තහවුරු කරනු ලැබ තිබේ. ඉකුත් 16වනදා මෙලෙස ඇය ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මොස්ටා නගරය අසල වාසය කළ මාධ්‍යවේදිනිය සිය නිවසේ සිට ඇයගේ මෝටර් රථයෙන් මඳ දුරක් ගමන් ගනිමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.

මාධ්‍යවේදිනිය විසින් මෝල්ටා අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ විවේචනයට ලක් කරන ලද්දේ පැනමා ලිපිගොණු අපචාරයට හවුල් වී ඇති බවට චෝදනා කරමිනි .

අගමැති පවුල පමණක් නොව විපක්ෂයේ දේශපාලකයන් ද ඇයගේ තියුණු විවේචනයට ලක් විය.

ඩැෆ්නි ගලිෂියා මාධ්‍යවේදිනිය තමාට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතින බව පවසමින් මෙයින් සති දෙකකට පෙර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව මෝල්ටා රූපවාහිනිය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *