සිංහල ජනතාවටද සාධාරණයක් ඉටුවිය යුතුයි – ඇමති තිගම්බරම්

(කොළඹ, ලංකාපුවත්) –නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන වැඩි කිරීමේදී සිංහල ජනතාවටද සාධාරණයක් ඉටුවිය යුතු බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතා පවසයි.

තමන්ගේ හා දමිළ ප්‍රගතිශීලි සංධානයේ දැඩි ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය හා අඹගමුව යන ප්‍රාදේශීය සභා දෙක ප්‍රාදේශීය සභා 6ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභාව නුවරඑළිය, කොටගල හා ආගරපතන ප්‍රාදේශීය සභා ලෙස ව්‍යාප්ත වන අතර අඹගමුව ප්‍රාදේශීය සභාව අඹගමුව, නෝර්වුඩ් හා මස්කෙළිය ලෙස ව්‍යාප්ත වේ. නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා මෙලෙස ප්‍රාදේශීය සභා 06ක් බවට පත් වන්නේ එම ප්‍රාදේශීය සභා වල ලක්ෂ 2 ½ කට වැඩි ජනගහනයක් ජීවත් වන බැවිනි.

එමෙන්ම අමාත්‍ය පලනි තිගම්බරම් මහතා පෙන්වා දෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් සෙසු ප්‍රාදේශීය සභා වන කොත්මලේ, වලපනේ හා හගුරන්කෙත යන ප්‍රාදේශීය සභා තුල ද ලක්ෂයකට වැඩි ජනගහනයක් ජීවත්වන බවය. එම ප්‍රාදේශීය සභා තුල ද්‍රවිඩ ජනතාවට වඩා සිංහල ජනතාව බහුතරයක් ජීවත් වන අතර එම ප්‍රාදේශීය සභා තුන හයක් දක්වා ඉහළ නොදැම්මහොත් එම ජනතාවට බලවත් අසාධාරනයක් සිදුවන බව අමාත්‍ය පලනි තිගම්බරම් මහතා සදහන් කළේය. සාමාන්‍යයෙන් ජනගහනය 50,000 කට එක් ප්‍රාදේශීය සභාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබියදී කොත්මලේ, වලපනේ හා හගුරන්කෙත යන ප්‍රාදේශීය සභා ජනගහනයට අනුව ප්‍රාදේශීය සභා 6ක් දක්වා වැඩි කල යුතුය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන වැඩිකර ගැනීම සදහා තමන් සිදුකල සෑම සාකච්ඡාවකදීම මේ පිළිබදව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා  දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව අමාත්‍ය පලනි තිගම්බරම් මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම ප්‍රාදේශීය සභා තුන හය දක්වා ඉහළ දැමීම තවත් සතියකින් ප්‍රමාද වන බවට නිලධාරීන් පෙන්වා දෙයි. නමුත් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ප්‍රකාශ කරන්නේ එම ප්‍රාදේශීය සභා තුනෙහි ජීවත් වන ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සදහා මැතිවරණය තවත් සතියකින් කල් දැමීම අසාධාරණ නොවන බවය.

විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ සිංහල භේදයකින් තොරව ලක්ෂයකට වැඩි ජනතාවක් පසුගිය මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබාදුන් බව පෙන්වාදෙන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් තමන් කැපවී සිටින බවය. පවතින ප්‍රාදේශීය සභා පහේ ජන සංඛ්‍යාව මෙන්ම පැවති දුර නිසා ජාතීභේදයකින් තොරව සියලුම ජනතාව තම අවශ්‍යතා ඉටුකර ගැනීමේදී ගැටළු වලට මුහුණ දුන් බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එම ගැටළු මගහරවා ගැනීමට තමන් දරණ උත්සහය සාර්ථක කර ගැනීමට විෂය භාර අමාත්‍යවරයාගේ මෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ හා අති ගරු ජනාධිපතිතුමාගේ සහාය ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *