සයිටම් පිළිබඳව රජයේ අවසාන විසඳුම ලබන සතියේදී

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ආයතනය පිළිබඳව රජයේ අවසාන විසඳුම ලබන සතියේදී ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඇක්වයිනාස් විශ්වවිද්‍යාල ආයතනයේ වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවයට ඊයේ(19) පස්වරුවේ එක් වෙමිනි.

සයිටම් ආයතනය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා පසුගිය කාලය තුළ රජය පියවර රැසක් ගනු ලැබුව ද එම විසඳුම් පිළිබඳව විවිධ ආකල්ප ඉදිරිපත්වූ බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් ලබන සතියේදී රජය ප‍්‍රකාශයට පත්කරන අවසාන විසඳුම එම උද්ඝෝෂණ කළ සිසුන් ප‍්‍රමුඛව විරුද්ධ ආකල්ප දැක්වූ බොහෝ අයට ප‍්‍රමාණවත් වනු ඇති බව ජනාධිපතිතුමා කියා සිටියේය.

නවෝත්පාදන ආර්ථිකයට අවශ්‍ය උගතුන් බිහි කිරීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට මෙන්ම රාජ්‍ය නොවන අංශවලට ද වගකීම් පැවරෙන බව පැවසූ ජනාධිපතිතුමා අධ්‍යාපනයේ තිබිය යුතු ප‍්‍රමිතිය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගනිමින් එම සියලු ආයතන කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

ඇක්වයිනාස් ආයතනයේ 08 වන උපාධි ප‍්‍රදානෝත්සවය මෙය වන අතර මනෝවිද්‍යාව උපදේශනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධිය, ආගමික අධ්‍යාපනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධිය ඇතුළු උපාධිලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 95 දෙනෙකු වෙත උපාධි පිරිනැමීම මෙහිදී සිදු විය.

එය සංකේතවත් කරමින් සිසුන් 15 දෙනෙකු වෙත උපාධි ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ඇක්වයිනාස් විශ්වවිද්‍යාල ආයතනයේ කුලපති අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන්, උපකුලපති සුසික් මාක් ලාල් සිල්වා පියතුමා ප‍්‍රමුඛ පියතුමන්ලා ද, අමාත්‍ය ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *