පකිස්තාන T20 තරගාවලියේ නායකත්වය තිසරට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නිත්‍ය නායක උපුල් තරංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනකු පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතව පාකිස්තානයට එරෙහිව ඇරැඹෙන විස්සයි 20 තරගාවලියට තිසර පෙරේරාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන පළමු අවස්ථාව මෙය වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 6ක් සමග බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයේ නිරතව සිටින ශ්‍රි ලංකා ‘ඒ’ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද මේ කණ්ඩායමට ඇතුළත්වී සිටිති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 පළමු හා දෙවැනි තරග සඳහා එක් කණ්ඩායමක් සහ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අවසන් විස්සයි20 තරගය සඳහා තවත් කණ්ඩායමක් නම් කරන ලෙස විස්සයි20 පිලේ හිටපු නායක ලසිත් මාලිංග පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා විය.

පසුගියදා පාකිස්තානයේ පැවැති ලෝක කණ්ඩායම හා පාකිස්තානු පිල අතර ප්‍රදර්ශනාත්මක විස්සයි20 තරගාවලිය සඳහා ලෝක කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස පත් කරමින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ කණ්ඩායම නම් කරනු ලැබුවේ පෙරේදාය.

කලෙකට පසුව ශ්‍රී ලංකා පිලට මහේල උඩවත්ත කැඳවා ඇති අතර පසුගිය ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර විනය විරෝධිව හැසිරීම නිසා තරග තහනමකට ලක්ව පසුව එම තහනම තරග 3කට ලිහිල් කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද කණ්ඩායමට එක්වී සිටී.

මීට අමතරව පළමුවරට කඩුලු රකින, පිතිකරුවකු වන මිනෝද් භානුකට කණ්ඩායමේ ස්ථානයක් හිමිවී ඇති අතර විස්සයි20 තරග අත්දැකීම් ඇති ඩිල්ෂාන් මුණවීර, අෂාන් ප්‍රියංජන, ඉසුරු උදාන සහ චතුරංග ද සිල්වා සෙසු ක්‍රීඩකයන් අතර වෙති.

පාකිස්තානය සමග දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන වේගපන්දු යවන්නන් වන ළහිරු ගමගේ සහ විශ්ව ප්‍රනාන්දු, කඩුලු රකින පිතිකරු සධීර සමරවික්‍රම, දඟපන්දු යවන්නන් වන ජෙෆ්රි වැන්ඩේසේ සහ සීකුගේ ප්‍රසන්න ද කණ්ඩායමට ඇතුළත්වී සිටිති. තරංග හා මාලිංග සමගින් නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, වනිඳු හසරංග, සුරංග ලක්මාල් හා ඇන්ජලෝ මැතිව්ස්ට විස්සයි20 තරගාවලිය අහිමිවී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙසේය.

තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, මිනෝද් භානුක, අෂාන් ප්‍රියංජන, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, සිකුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩේසේ, චතුරංග ද සිල්වා. විකුම් සංජය, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 6 =