ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සහ හම්බන්තොට වරායට අමතරව ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට ද ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මහනුවර, “ග්‍රෑන්ඩ් කැන්ඩියන්” හෝටලයේ, රෝයල් පීකොක් ශාලාවේ පැවැති, මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ 45 වන සංවත්සරයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

වරාය සංවර්ධන කටයුතු සඳහා සිංගප්පූරුව සහ ඉන්දියාවේ සහාය ලබාගැනීමට සාකච්ඡා කරමින් පවතින බවත් ඉදිරි වසර 10 දී බෙංගාල බොක්කේ සංවර්ධනයත් සමග ත්‍රිකුණාමලය ද දියුණු වන බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායේ සංවර්ධන කටයුතු මහනුවරට බලපාන බවත් පෙන්වා දුන්නේය.

“2018 සහ 2019 වසරවලදී ණය ගෙවීම රුපියල් කෝටි ලක්‍ෂ 3ක මුදලක් ඒ සඳහා අවශ්‍යයි. ඉන් පසු ද ණය ගෙවීමට සිදුවන නමුත් අපට ඒ කාලය තුලදී ලබන ආදායම තුලින් ණය ගෙවීමට හැකියාව ලැබෙනවා. ඒ සමග සමහර වැඩකටයුතු වෙනුවෙන් ණය ගැනීමට ද සිදු වෙනවා. අපගේ මූලික පරමාර්ථයන් වන්නේ ආර්ථිකය ස්ථාවර කිරීම, ණය ගෙවීම පාලනය කිරීම, ණය කළමනාකරණයක් ඇති කිරීම, ඒ සමගම වැදගත් කටයුතු වෙනුවෙන් මුදල් යෙදවීම සහ පාසල් අධ්‍යාපනය වසර 13 අනිවාර්යෙන් ලබාදීම, සෞඛ්‍ය දියුණු කිරීම ආදියයි. මේ සියලු කටයුතු වෙනුවෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති එකම මාර්ගය පුද්ගලික ආයෝජන ශක්තිමත් කිරීමයි. මෙය අලුත් ක්‍රමයක් නොවේ. කොමියුනිස්ට් චීනය අද වනවිට දියුණු වූයේ පුද්ගලික අංශය දියුණු කිරීමට ඉඩදීම තුළිනුයි. සිංගප්පූරුව, ඉන්දියාව ද ක්‍රියා කළේ එම ආකාරයටයි. අප රට ද එම ක්‍රමය අනුගමනය කළ යුතුයි”.

“මීට අමතරව ව්‍යාපාරිකයන්ට උදව් ලබා දීම සඳහා නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ සියලු දේවල් අප කළ යුත්තේ විශේෂ ක්‍රමයකට. අපි ඉන්නේ අලුත් ආර්ථික ක්‍රමයක් තුළ. හිල්ටන් සහ මැරියට් වැනි හෝටල් රටට අවශ්‍යයි. අද බොහෝ දෙනා ඌබර් ක්‍රමයේ වාහන වලින් ගමනා ගමනය සිදුකරන්නේ. මහනුවර දැනට පවතින කඩ කාමරවලින් තව අවුරුදු 20 කදී කීයක් ඉතිරි වේවිද? ඒකට හේතුව අන්තර්ජාලය ඔස්සේ සිදු වන වෙළෙඳ ක්‍රමයක් ක්‍රියාත්මක වීමයි. මේ ආකාරයට සියලඋු දෑ වෙනස් වෙනවා”.

“මහනුවර තොරතුරු තාක්‍ෂණයට ඉතා සුදුසුයි. කෘෂි තාක්‍ෂණය ද හඳුන්වාදීමට මා බලාපොරොත්තු වෙනවා. මහනුවර අපනයන කෘෂිකර්මාන්තයට යොදා ගන්නේ නම් අධිවේගී මාර්ග හරහා පැයක් තුළ කටුනායකට ප්‍රවාහන කටයුතු සිදු කරන්නත් පුළුවන්. මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ වාසිදායක ප්‍රතිඵල කුරුණෑගල, කෑගල්ල සහ මහනුවරට ලබා ගත යුතුයි. එසේම මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය සංවර්ධනයට අපි අවධානය යොමු කර තිබෙනවා. සංචාරකයින් මහනුවර එක් දිනකට සීමා නොකර ඔවුන් දින 3ක් මහනුවර සංචාරය සඳහා යොමු කරවා ගැනීමට අප උත්සහ කරනවා. සංචාරකයින් පේරාදෙනිය උද්‍යානයට පමණක් යන්නේ ඇයි? ඔවුන් උඩවත්ත කෑලේ සංචාරයට යොමු කිරීමට නොහැකියි ද . ඒ වගෙම් සංචාරකයින් දළදා මාලිගාවට පමණක් නොව සංස්කෘතික වටිනාකම් ඇති සතර දේවාලවලට රැගෙන යා යුතුයි. මහනුවරට තවත් ගෝල්ෆ් පිටියක් ඉදිකරන්න සුදුසු ස්ථානයක් පිළිබඳව ද අපි මහ ඇමැතිතුමා සමග කතා කළා. මේ ආකාරයට මහනුවර සංවර්ධනයට විශාල ව්‍යාපෘති හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *