රෝහල් ගතවන්නන්ට E -Health කාඩ්පතක්

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල් 33 ක ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පසුගියදා සිදු කෙරිණි.

මෙහිදී අදාළ ගිවිසුම සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා සහ ඔස්ට්‍රියාවේ Odelga MED Ges.M.B.H සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ Mr. Peter Haag මහතා අතර අත්සන් කෙරුණි.

ශ්‍රී ලංකාවේ රෝහල් සංවර්ධනය කිරිම සඳහා විදේශ ආයොජන රැසක් ලැබී තිබෙන බවත් ඔස්ට්‍රියානු සමාගම මගින් යුරෝ 9587574 ක් වැය කරමින් රෝහල්වල ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතර ම මේ වනවිට සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා විදේශ ආයෝජන 70 ක් පමණ ලැබී තිබෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසීය.

“වත්මන් රජය විදේශ ආයෝජන අගය කරනවා. උතුරු පළාතේ මෙන්ම දිවයින පුරා රෝහල් සංවර්ධනයට ආයෝජන ලැබී ඇත්තේ එම නිසයි. යුරෝපයේ මෙන් සංවර්ධිත රෝහල් ලැබෙන අතර, එම රටවල භාවිත කෙරන නවීන තාක්ෂණය ද සෞඛ්‍ය සේවාවට ලැබීම ඉතාම වැදගත්. වෛද්‍යවරුන් ඉල්ලන සෑම නවීනත ම වෛද්‍ය උපකරණ ලබාදී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව නාම පුවරුවට පමණක් සීමා කරන්නේ නැහැ. රජය ද විශාල ආයෝජනයක් සිදු කරනවා. වැඩිම විදේශ ආයෝජන ලැබී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයටයි” යැයි ද කීය.

වසර 2020 වනවිට ඊ- හෙල්ත් ව්‍යාපෘතිය යටතේ රෝහල් 300 ක් පරිගණක ගත කරන අතර ජනතාව වෙනුවෙන් ඊ-හෙල්ත් කාඩ්පතක් ද හදුන්වා දීමට නියමිත බවත් ඒ පිළිබඳව ඉන්දීය සමාගමක් සමග මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

ජනතාව ඉන්දීය ගිලන් රථ සේවාවේ ප්‍රයෝජන ලබාගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවත් ගිලන් රථ 250ක් ලබාදීමට පොරොන්දු වී ඇතැයි පෙන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ අනුව එම සේවාව දීප ව්‍යාප්ත කරන බවත් කීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණුගම, රෝහල් අධ්‍යක්ෂවරු සහ ඔස්ට්‍රියාවේ Odelga MED Ges.m.b.h සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ Mr. Peter Haag යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *