ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවිමේ ප්‍රවනතාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවිමේ ප්‍රවනතාවක් පසුගිය වසර 14 තුලදිම දක්නට ලැබෙන බව ජනලේ‍ඛන හා සංඛ්‍යාලේ‍ඛන දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

ගෘහ ඒකක ආදායම්/ වියදම, ආදායම් විෂමතා, දරිද්‍රතාව වැනි තොරතුරු පිළියෙළ කිරීම සඳහා ජනලේ‍ඛන හා සංඛ්‍යාලේ‍ඛන දෙපාර්තමේන්තුව මඟින් ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂ‍ණය සිදු කරනු ඇත. එය සෑම වසර 3 කටම වරක් පවත්වනු ලබන අතර 2016 වසරේ දී මෙම සමීක්ෂණ මාලාවේ 9 වැන්න පැවැත් වුණි. මෙම සමීක්ෂණය සඳහා විධිමත් නියැදි තේරීමේ තාක්ෂණික ක්‍රම වේදයන්ට අනුව මුළු රටම ආවර‍ණය වන පරිදි නිවාස ඒකක 25,000 ක නියැදියක් යොදා ගනිමින් 2016 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වු කාලය තුල දත්ත රැස් කරන ලදී.

මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම රු 62,237 කි. 2012/13 වර්ෂයේ පැවැත්වූ සමීක්ෂණයට සාපේක්ෂව පවත්නා මිල ගණන් යටතේ එය 35.7% ක වැඩිවීමකි.

එසේම නාගරික, ග්‍රාමීය හා වතු අං‍ශයන්හි වාර්තා වු ආදායම් සැලකීමේදී, නාගරික අංශයේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම රු. 88,692 ක් හා ග්‍රාමීය හා වතු අංශවල එම අගය පිළිවෙලින් රු. 58,137 ක් සහ රු. 34,804 ක් ලෙස වාර්තා වී තිබේ.

මීට අමතරව ගෘහ ඒකකයක ආහාරපාන හා ආහාරපාන නොවන ද්‍රව්‍ය වල වියදම් සලකමින් ගෘහ ඒකක වියදම් ගණනය කර ඇත. ශ්‍රී ලංකාවේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයෙන් අනාවරණය වු ප්‍රතිඵල අනුව 2016 වසරේ දී මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.54,999 ක් විය. ආහාර සදහා පමණක් මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.19,114 (34.8%) ක් ලෙස වාර්තා වු අතර ආහාරපාන නොවන ද්‍රව්‍ය සදහා වු මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.35,885 (65.2%) ක් ලෙස වාර්තා වි තිබේ.

මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම, 2012/13 වර්ෂයට වඩා 2016 වර්ෂයෙහි 33% ක වැඩීවීමක් පෙන්නුම් කරයි.

මෙම සමීක්ෂණ තොරතුරු අනුව ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවිමේ ප්‍රවනතාවක් පසුගිය වසර 14 තුලදිම දක්නට ලැබුණු බව දෙපාර්තමේන්තුව සදහන්කරනු ලැබේ.

දරිද්‍රතා රේඛාව අනුව 2002 වර්ෂයේදි ජනගහන දරිද්‍රතා අනුපාතය 22.7 % ක් විය. 2016 වසරේදි එය 4.1 % ක් දක්වා අඩුවී ඇත. මෙසේ පසුගිය දශක කිහිපය තුල ජාතික මට්ටමින් දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කලද, දුප්පත්භාවයේ අසමානතා තවමත් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා නාගරික, ග්‍රාමිය, වතු යන අංශ මට්ටමින් දක්නට ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *