සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වහාම ආනයනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේ අනුව ඉන්දියාව, පකිස්තානය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංගලාදේශය යන රටවලින් මෙම සහල් තොග ආනයනය කිරීමට බලාපොරොත්තු වේ. අනෙකුත් රටවලටද මෙම ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව මුදල් අමාත්‍යාංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ ටෙන්ඩර් කමිටුවක් මඟින් මෙම ටෙන්ඩර් කැඳවීම් සිදු කර ඇත.

මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් අනූ දහසක් ද (90 000), සම්බා මෙට්‍රික් ටොන් හැට දහසක් ද ( 60 000) , සුදු කැකුලු මෙට්‍රික් ටොන් පනස් දහසක් ද ( 50 000) ආනයනයට ටෙන්ඩර් කැඳවා ඇති අතර මෙම මස 31 වෙනිදා දක්වා මිල ගණන් ලබා ගැනේ.

තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් ආනයනය කරන පළමු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය නොවැම්බර් මස 30 වෙනිදා වන විටත්, ඉතිරි ලක්ෂය දෙසැම්බර් මස 30 වෙනිදා වන විටත් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැළසුම් කර තිබේ.

වෙළෙඳපොළ ඉල්ලුම අනුව අවශ්‍යතරම් සහල් තොග සැපයීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සූදානමින් සිටින බවද අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *