දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා. එහෙත් මගීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව දුම්රිය නිලධාරීන් පෙන්වා දෙයි.

ගත වූ මාස කිහිපය තුළ දුම්රියේ වාහන ගැටීම් 84 ක් , දුම්රිය හරස් මාර්ගවල වාහන ගැටීම් 506 ක් වාර්තා වේ.

දුම්රියෙන් ඇදවැටීම් 76 ක් හා දුම්රිය මාර්ගවල ගමන් කිරීමෙන් සිදුවන අනතුරු 436 ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 180 කි.

ජංගම දුරකථන භාවිතය , දුම්රිය මාර්ගයේ ගමන් කිරීම හා සෙල්ෆි ඡායාරූප ගැනීම , අපරික්‍ෂාකාරී රිය ධාවනය ඇතුලු හේතු ගණනාවක් මෙම මරණවලට හේතුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

මේ අතර ජංගම දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයෙකු ඊයේ(23) පෙරවරුවේ මිය ගියේය. ඒ මාතර සිට වවුනියාව දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙනි. බෙන්තොට ප්‍රදේශයේදී අනතුර සිදුව තිබේ.

එසේම ක්‍රීඩා තරගයකට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු ද බම්බලපිටිය ප්‍රදේශයේදී දුම්රියක ගැටී ඊයේ මිය ගොස් තිබුණි.

මෙවැනි අනතුරු බොහොමයකට හේතුවී තිබෙන්නේ ජනතාවගේ නොසැලකිලිමත්භාවය වේ. මේ පිළිබඳ අවධානය යොමුකර දුම්රිය අනතුරු වළක්වා ගැනීමට සියලු ජනතාවගේ දායකත්වය අවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *