සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින්

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

සියලු අභියෝගවලට සහ ගැටලුකාරී තත්ත්වයන්ට සාකච්ඡාවෙන්, සංවාදයෙන් සහ කරුණු බෙදා හදා ගැනීමෙන් විසඳුම් ලබාගත හැකි බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දෙහිඕවිට, තිඹිරිපල ශී‍්‍ර අභිනවාරාම විහාරස්ථානයේ අභිනව රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ(23) පස්වරුවේ එක්වෙමිනි.

බෙදීම සහ වෙන්වීම යහපත් රටක් ගොඩනැගීමට බාධාවක් වන අතර රටේ මතුවන ගැටලුවලදී මෙන්ම සංවර්ධන කාර්යයේදී ද බෙදීමෙන් සහ වෙන්වීමෙන් තොරව සියලු දෙනා සාමුහිකව එක්ව එම ගැටලු විසඳාත යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

2018 වසර රට දිළිඳුභාවයෙන් නිදහස් කර ගැනීම සඳහා ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කර තිබෙන අතර, ග‍්‍රාමීය ජනතාව දිළිඳුභාවයෙන් නිදහස් කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැංවීමට මෙන්ම රටේ සමෘද්ධිය ද ඇති කිරිම සඳහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පසුගියදා ආරම්භ කළ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙම සංවර්ධන කාර්යයන් සමග අත්වැල් බැඳ ගනිමින් ගම මෙන්ම රට ද සංවර්ධනය කිරීමට බෙදීමෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ප‍්‍රකාශ කළේය.

ඊයේ පස්වරුවේ තිඹිරිපල අභිනවාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අභිනව රන්වැට නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කරනු ලැබීය.

සීතාවක ගඟ නියමු මැණික් ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ බෙදාදීමේ තුන්වන අදියර සංකේතවත් කරමින් දසදෙනෙකුට ප‍්‍රතිලාභ බෙදා දීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

සමෘද්ධිලාභීන්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්, උසස් අධ්‍යාපනය ලබන දරුවන් මෙන්ම ආගමික ස්ථාන සඳහා රුපියල් එක්කෝටි හතළිස් හත්දහසක මුදලක් මෙලෙස බෙදාදීම සිදු කෙරිණි.

දෙහිඕවිට, තිඹිරිපල ශී‍්‍ර අභිනවාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මතිලක නායක ස්වාමින් වහන්සේ විසින් පුණ්‍යෝත්සවයේ පිළිගැනීමේ අනුශාසනාව සිදුකළ අතර අමරපුර මහා නිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුසිතා විජේමාන්න යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් මෙන්ම ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *