චීනයේ මාවෝ සේතුං අභිභවනය කළ ෂි ජින්පිං

(කොළඹ, ලංකාපුවත්) – මහජන චීනයේ නිර්මාතෘ, කෘතහස්ථ දේශපාලඥ මාවෝ සේතුංගෙන් පසුව එම නාමයේ මට්ටමට වත්මන් චීන ජනපති ෂි ජින්පිං ඔසවා තැබීමට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව, ෂි ජින්පිං නාමය සහ මතවාදය සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා වූ ඡන්ද විමසීමට කොමියුනිස්ට් පක්ෂයේ කැමැත්ත පළ වී ඇත.

වසර 5කට වරක් පැවැත්වෙන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අවසන් කරමින් මෙම ඓතිහාසික අවස්ථාව එළැඹ තිබේ.

වර්ෂ 2012 දී චීනයේ නායකත්වයට පත්වූ ෂි ජින්පින් විසින් මේ වනවිට ලෝක දේශපාලනය තුළ චීනය වඩාත් බලවත්ම රාජ්‍ය බවට පත්කිරීම සඳහා කටයුතු කර ඇති බව නොරහසකි.

මේ ආකාරයෙන් ඔහුගේ මතවාදය කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමත් සමග වත්මන් ජනපතිවරයාට එල්ලවන කවර හෝ ආකාරයේ අභියෝගයක් පාලක කොමියුනිස්ට් පක්ෂයට එල්ලවන තර්ජනයක් සේ සැලකෙනු ඇත.

පක්ෂ නියෝජිතයන් 2,000 අධික පිරිසක් සහභාගී වූ පක්ෂ සම්මේලනයේදී කිසිවෙකුත් මීට විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් විය.

මීට පෙර සිටි චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ද සිය මතවාදය හෝ දැක්ම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කළද මතවාදීමය ධුරාවලියේ ඉහළින්ම සිටින මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං හැර අන්කිසිවකුත් සිය දර්ශනය සංකල්පයක් වශයෙන් ඊට ඇතුළත් කර නොතිබුණි.

ලක්ෂ 900ක් වන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සමග පාසල් දරුවන්, උසස් අධ්‍යාපනය ලබන සිසුන්, සහ රජයේ කර්මාන්ත ශාලාවල සේවකයන්ටද ෂි ජින්පිං සංකල්පය අධ්‍යයනය කිරීමට සිදුවනු ඇති අතර, නව යුගයක් යන ආදර්ශ පාඨය වත්මන් නවීන චීනයේ තෙවැනි පරිච්ඡේදය ලෙස හැඳින්වීමටද කොමියුනිස්ට් පක්ෂයේ අදහස වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *