ඔබාමා ජූරි සේවයේ

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ප්‍රාන්තයේ උසාවියක්, හිටපු ජනාධිපති බරක් ඔබාමා, ජූරි සේවය සඳහා කැඳවා ඇති බව අධිකරණ ප්‍රකාශකයෙක් පවසයි.

වැඩි විස්තර හෙළිදරව් කර නැති නමුත් හිටපු ජනාධිපති ඔබාමා එම කැඳවීමට අනුව උසාවියේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ධවල මන්දිරයෙන් පිටත්ව ගිය පසු හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද ජූරි සේවය සඳහා අධිකරණය විසින් කැඳවා ඇත.

හාවර්ඩ් නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බරක් ඔබාමා, සෙනෙට් සභාවට පත්වීමට ප්‍රථම චිකාගෝ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස වසර 12ක් කටයතු කළේය.

එමෙන්ම ඔහු මානව හිමිකම් පිළිබඳ නීතිවේදියෙකු වශයෙන් ද කටයුතු කර ඇත.

“ඔහු පුරවැසියෙකු ලෙස තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම සපුරන බවට ඔහුගේ නියෝජිතයෙකු මාර්ගයෙන් මට පැහැදිලිවම දන්වා තිබෙනවා” යයි අධිකරණ විනිසුරු තිමෝති එවාන්ස් ප්‍රකාශ කළ බව චිකාගෝ ට්‍රිබියුන් පුවත්පත පළකර තිබුණි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛස්ථානය හිමි වන බවත් ඔහු පවසයි.

නමුත් හිටපු ජනපති ඔබාමාගේ ප්‍රකාශකයෙක් ඉහත කී කැඳවීම පිළිබඳව තවමත් කිසිවක් පවසා නැත.
ජූරි සභිකයෙකු ලෙස අමෙරිකානු දිසා අධිකරණයකට කැඳවන පුද්ගලයෙකුට දිනකට ඩොලර් 17යි ශත 25ක් ගෙවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *