ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දියහැකි නායකයා ජනපති මෛත්‍රී පමණයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(කොළඹ, ලංකාපුවත්) – රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිතුමා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැකියහැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මෙම අදහස් පළ කළේ පැපිළියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත‍්‍රණ ශාලාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ පුණ්‍යෝත්සවය අමතමිනි.

මෙම පුණ්‍යෝත්සවය ඊයේ(29)පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, ගැටුම් නිරාකරණය පිළිබඳ ගැඹුරින්ම දේශනා කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ බවත්, ගැටුම් නිරාකරණයට විවිධ ක‍්‍රමවේද තිබිය හැකි වුව ද බෞද්ධ ප‍්‍රතිපත්තිය වනුයේ, කිසිම ජීවිතයක් විනාශ නොකිරීම මෙන්ම කිසිම ජීවිතයක් විනාශවන්නට ඉඩ නොතබමින් ගැටුම් නිරාකරණය කර ගැනීම බවත් ය.

ගැටුම් නිරාකරණය විද්‍යාවක් මෙන්ම ශාස්ත‍්‍රීය විෂයයක් ද වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය නූතන උසස් අධ්‍යාපනයේ අංගයක් ද වන බැවින් අප අද මුහුණපා සිටින ගැටුම් නිරාකරණය ද මනා හැදෑරීමකින් යුතුව, විද්‍යාත්මක හා ශාස්ත‍්‍රීය පදනමකින් යුතුව කළ යුතු බව ද සඳහන් කළේය.

මෑතකදී ජනාධිපතිතුමා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළකළ බව සිහිපත් කළ අභයතිස්ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා අවසානයේ ස්ථිරසාර ලෙස පළකළ අදහස, එතුමාට මේ රටත් රටේ වැසියනුත් ගැන ඇති හැ`ගීම ඉතා ගැඹුරින් පෙන්නුම් කළ බව ද සඳහන් කළේය.

නිදහස ලැබුණු දා සිට මේ රටේ සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටුම් අවුලවනුයේ දේශපාලනඥයින් විය හැකි වුව ද එසේ ඇවිලවිය හැකි යම් මූල බීජයක් පවතින බවත්, එම මූල බීජය ඉවත් කොට සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ජනාධිපතිතුමා තමා සහ පිරිසට සඳහන් කළ බව ද අභයතිස්ස හිමියෝ සිහිපත් කළහ.

අභාවප‍්‍රාප්ත තම මෑණියන් සිහිවීම පිණිස මහේල පෙරේරා මහතා සහ දිල්ෂාන් විජේතුංග මහත්මියගේ ධන පරිත්‍යාගයෙන්, විහාරස්ථානයේ ඉදිකළ වාහල්කඩ ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරුණු අතර කඨින චීවරය ධර්මශාලාව වෙත වැඩමවා සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ද ජනාධිපතිතුමා එක්විය. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සම්මන්ත‍්‍රණ ශාලාව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේ ද අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, ජීවන් කුමාරතුංග ඇතුළු මැතිඇමතිවරු ද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති සම්පත් අමරතුංග මහතා ද විහාරස්ථ දායක දායිකාවන් විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

පැපිළියාන සුනේත‍්‍රාදේවි මහා පිරිවෙන් රජමහා විහාරස්ථානයේ කඨින පූජාව, වාහල්කඩ සහ නව සම්මන්ත‍්‍රණ ශාලාව විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

2017.10.29 වන දින පැපිළියාන සුනේත‍්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේදී

ඉතා උතුම් පුණ්‍ය කටයුත්තක් සඳහා මේ ඓතිහාසික මහා පූජනීය ස්ථානයට පැමිණීමට ලැබීම පිළිබඳව ප‍්‍රථමයෙන්ම මාගේ සතුට ප‍්‍රකාශ කරනවා. ගෞරවණීය ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප‍්‍රමුඛ විහාරස්ථ දායක සභාව මේ උතුම් පිංකමට මට ආරාධනා කිරීම පිළිබඳව මම මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා.

අපේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් පැහැදිලි කළ ආකාරයටම අප අද ඉතා උතුම් පුණ්‍ය කටයුතු දෙකකටම සහභාගි වුණා. අපි බෞද්ධයින් විදියට කඨින පිංකමකට සහභාගි වීමෙන්, දායකත්වය, අනුග‍්‍රහය ලබාදීමෙන් අපගේ ජීවිත කාලය තුළ ලබා ඇති අත්දැකීම් සමග අප සියලුදෙනාටම ඒ තුළින් ලැබෙන පින පිළිබඳව අවබෝධයක් තිබෙනවා.

ඒවගේම මේ ඓතිහාසික පූජනීය ස්ථානයට වාහල්කඩක් ඉදිකරලා එය පූජා කිරීම උතුම් දෙයක්. මේ පුදබිමේ තිබෙන ඓතිහාසික වැදගත්කම වගේම 06 වැනි පැරකුම්භා රජ දවස ගොඩනැගූ මෙම පූජනීය ස්ථානයේ සංස්කෘතික වටිනාකම පිළිබඳව කතාන්දරය අපට අතිශය වැදගත්. පෙර රජ දවසේ සිට සැමවිටම රාජ්‍ය පාලනයේදී රජුට සැමවිටම උපදෙස් දුන්නේ අනුශාසනා කළේ ළඟින් සිටියේ මහා සංඝරත්නය යි කියන එක අපි කවුරුත් දන්නා වූ දෙයක්. ඒ නිසා අපිට එදා දවසත් අද දවසත් හෙට දවසත් රජයක් විදයට වේවා සාමාන්‍ය ජීවිතයක වේවා බෞද්ධයින් විදියට ශාසනික වශයෙන් අපි ඒ උතුම් මෙහෙවරට සැමවිටම කැපවෙනවා වගේම අපිට අපේ බෞද්ධ සංස්කෘතිය, අපේ ඉතිහාසය ඒ සියල්ල තේරුම් අරගෙන වැඩ කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා රජයක් විදියට මම මගේ තනතුරේ කටයුතු කිරීමේදී සැමවිටමත් මහා සංඝරත්නයේ අනුශාසනා උපදෙස් අනුව වැඩ කරන කෙනෙක්. මා ජනාධිපති ධුරයට පත්වීමට පෙරත් කටයුතු කළේ ඒ ආකාරයටමයි.

අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ කරුණු රාශියක්ම අනුශාසනා කළා. අපි කවුරුත් දන්න දෙයක් තමයි අද අපේ රට වශයෙන් පමණක් නොවෙයි ලෝකය වශයෙන් ගත් විට අපි බෞද්ධයින් විදියට මොනතරම් බණ ඇහුවත්, මොනතරම් ආගමික කටයුතුවලට සහභාගි වුණත්, බෞද්ධ සමාජයක තිබෙන කාර්යයන් කොතෙක් ඉටු කළත් අපි දන්නවා සමාජයේ ඉන්නේ අපායට බය නැති මිනිස්සු. ඒවගේම තමයි කොතෙක් කිව්වත් දිව්‍ය ලෝකය ගැන හිතන්නේ නැති මිනිස්සු. ඒවගේම තමයි නිවන් පිළිබඳව කොතෙක් දේශනා කළත් නිවන් යන්න කැමැත්තක් නැතිව නිවන අමතක කරලා වැඩකරන මිනිස්සු. එවැනි සමාජයක් අද දකින්න තිබෙන්නේ.

අපි සමාජ ප‍්‍රශ්න පිළිබඳව කතා කළා. අපේ රටේ වගේම ලෝකයේ විවිධ ආකාරයෙන් පැණ නැගි විවිධ ප‍්‍රශ්න සහ ගැටලු තිබෙනවා. අපි අපේ රටේ ජාතිවාදය පිළිබඳව අපේ රටේ තිබෙන විවිධ අත්දැකීම් එක්ක මුළු ඉතිහාසය පුරා කියන කතාවක් අපි දන්නවා. ඒවගේම තමයි ගැටුම් පිළිබඳව කතා කරන විට ගැටුම් ඇති වීම සහ ගැටුම් නිරාකරණය පිළිබඳව කතා කරන විට ගැටුම් නිරාකරණය කියලා කියන්නේ උසස් අධ්‍යාපන විෂයක්. ගැටුම් නිරාකරණය කියලා කියන්නේ විද්‍යාවක්. ගැටුම් නිරාකරණය කියලා කියන්නේ ශාස්ත‍්‍රීය විෂයයක්. ඒ තුළ රටක ගැටුම් ඇතිවීමේදී සමාජමය වෙන්න පුළුවන් ජාතිවාදී වෙන්න පුළුවන් වෙනත් තාක්ෂණයක හෝ විවිධ ක්ෂේත‍්‍රවල වෙන්න පුළුවන් කුමන ආකාරයෙන් හෝ ගැටුම් නිරාකරණයේදී උගතුන් සහ බුද්ධිමතුන්ගේ මැදිහත්වීම තුළ ඒ ගැටුම් නිරාකරණයේදී තිබෙන්නා වූ ශාස්ත‍්‍රීය සහ විද්‍යාත්මක පසුබිම් මුල්කරගෙන සෑම කෙනෙක්ම කටයුතු කිරීම තමයි ඉතාමත් අවශ්‍ය වෙන්නේ. ගැටුම් නිරාකරණය කිරීම පිළිබඳව මුලින්ම දේශනා කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේගේ බෞද්ධ දර්ශනය තුළ තමයි ගැටුම් නිරාකරණය, සාමය, සාකච්ඡාාව, සංවාදය, ප‍්‍රශ්න විසඳීම, සමාජයක සන්සුන්භාවය, නොසන්සුන්කම් ඉවත් කිරීම ඒ සියල්ල අන්තර්ගත වන්නේ. ඒ නිසා බෞද්ධ දර්ශනයේ තමයි ගැටුම් නිරාකරණය කිරීම සඳහා මූලික මගපෙන්වීම තිබෙන්නේ. ඒ නිසා අප කාගේත් ගෞරවණීය පූජනීය මහා සංරඝත්නය ප‍්‍රමුඛව සෑම කෙනෙකුගේම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපේ රටේ අද තිබෙන ප‍්‍රශ්නවලට, අද තිබෙන ගැටුම්වලට විසඳුම් මොනවාද කියලා ඒ විසඳුම් කරා යන්නට. ඒවා සාකච්ඡා කරන්න. ඒවා අධ්‍යයනය කරන්න. ඒ ප‍්‍රශ්න තේරුම් ගන්න. ප‍්‍රශ්නය කොතනද? ගැටුම කොතනද? ගැටලූව කොතනද? ඒ සඳහා විසඳුම කුමක්ද කියන කාරණාවට යන්න.
ඊයේ පෙරේදා මම කියෙව්වා පොතක් රුවන්ඩාවේ ගැටුම් පිළිබඳව. 1993 – 94 අපේ හාමුදුරුවනේ රුවන්ඩාවේ දින සීයක් ඇතුළත ලක්ෂ 08 ක් මරලා තිබෙනවා. ලක්ෂ 08 ක් දින 100 ක් ඇතුළත මරලා තිබෙන්නේ ජාතිවාදය නිසා. එක්තරා භාෂාවක් කතා කරන එක්තරා ගෝත‍්‍රයක් අනික් පිරිස මරලා තිබෙනවා. දින සීයක් ඇතුළතදි ලක්ෂ 08 ක් මරන්න දවසකට කීදෙනෙක් මරන්න ඕනෑද? පැයකට කීදෙනෙක් මරන්න ඕනෑද? විනාඩියට කීදෙනෙක් මරන්න ඕනැද? මේක තමයි තත්ත්වය. අපි සැමවිටම බෞද්ධයින් විදියට අපේ ප‍්‍රතිපත්තිය තමයි කිසිම ජීවිතයක් විනාශ නොකිරීම. කිසිම ජීවිතයක් විනාශ වන්නට ඉඩනොදීම. ජීවිතයක් සැමවිටම ආරක්ෂා කිරීම. ඒවගේම ඒ ජීවිතය යහපත් කිරීම.

සංකීර්ණ වූ සමාජයක තිබෙන ප‍්‍රශ්න ගැටලු ඉතා අභියෝගාත්මකයි. රටක් විදියට විවිධ ක්ෂේත‍්‍රවල තිබෙන විවිධ ප‍්‍රශ්නවලදි අපි ආර්ථිකය පිළිබඳව ගත්තොත් අපි දන්නවා දැන් පසුගිය අවුරුදු එකහමාරක විතර මහා නියඟයක් මේ රටේ එක ප‍්‍රදේශයක තිබෙනවා. තවත් පැත්තක ගංවතුර. අද ඇමරිකා එක්සත් ජනපදයේ මොනතරම් කාලගුණික දේශගුණික විපර්යාස තුළ බරපතළ ඛේදවාචකයන්ට ලක් වෙලා තිබෙනවද? ඒවගේම තමයි ලෝකයේ අනික් රටවලුත්. එහෙම නම් ඒවාට අද විද්‍යාඥයින්, විද්වතුන් කළ යුත්තේ කුමක්ද? ඒවාට අවශ්‍ය විසඳුම් සෙවිය යුතුයි. අපේ රටේ නියඟයක් නිසා ආහාර නිෂ්පාදනය සියයට 50 කින් පහත වැටුණා. ඒකට විසඳුම විදියට පසුගිය මාසේ දේශීය ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයක් ආරම්භ කළා. ඒවගේම අපි දන්නවා ලෝකයේ අනික් රටවල්වල වගේම අපේ රටේ මත්ද්‍රව්‍ය පිළිබඳව බරපතළ ප‍්‍රශ්නයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණයට, මර්ධනයට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනක් අපි පටන් ගත්තා. ඇතැම් ප‍්‍රශ්න සරලයි. ඇතැම් ප‍්‍රශ්න සංකීර්ණයි. ඇතැම් ප‍්‍රශ්න අභියෝගාත්මකයි. බොහෝ ප‍්‍රශ්න ගැටලු සහගතයි. ප‍්‍රශ්නයක් කියන්නේ ගැටලුවක්.

ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මැතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුවකට සහභාගි වුණු අවස්ථාවක මට මතකයි එතුමාගෙන් රාජ්‍ය නායකයෙක් සුහද සාකච්ඡාවකදි ඇහුවා ඔබතුමා දැන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා විදියට පත්වෙලා මෙච්චර කාලයක් වෙනවා. ඔබතුමා දැන් හුඟක් දුරට ඔබේ රටේ ප‍්‍රශ්න විසඳලා ඇති නේද. අපිට පේනවා හුඟක් විසඳගෙන යනවා කියලා. එවකට ඉන්දියාවේ ජනගහනය කොටි 60 යි එතුමා කිව්වා මට ප‍්‍රශ්න කොටි 60 ක් තිබෙනවා. ඒ ප‍්‍රශ්න කොටි 60 ම විසඳීම පිළිබඳව අභියෝගයක් තිබෙනවා. ඒවගේම අපේ රටේ ජනගහනය මිලියන 21 ක් පමණ වෙනවා. දස ලක්ෂ විසි එකක්. අපිට ප‍්‍රශ්න දස ලක්ෂ විසි එකකට වැඩිය තිබෙනවා. එක පුද්ගලයෙක් කියන්නේ සමාජයේ ඒ පුද්ගලායට තිබෙන ප‍්‍රශ්න විසඳිය යුතු වෙනවා. හැම දරුවෙක්ම ඉපදෙන කොට ඒ දරුවෙක් තුළින් ඇතිවන අභියෝගය අපි ප‍්‍රශ්නයක් විදියට හිතන්න හොඳ නෑ. නමුත් ඒ ලැබෙන සම්පතත් එක්ක සමාජමය වශයෙන් ඒ දරුවා ගොඩනගන්නේ කෙසේද කියන වගකීම සහ යුතුකම ඉටු කරන්නට තිබෙනවා.

ඔබ වහන්සේලාගේ අනුශාසනා සහ උපදෙස් මා ඉතාමත් අගය කරනවා. රට හමුවේ තිබෙන්නා වූ අභියෝගවලදි ප‍්‍රධාන වශයෙන්ම මේ දිනවල සාකච්ඡාවට ලක්වෙලා තිබෙන බලය බෙදීම, බලය බෙදීමට ඉල්ලීම, බලය බෙදීමට විරුද්ධ වීම, බලය බෙදීම පිළිබඳව විෂයගත කරුණු මේ සියල්ලත් එක්ක තිබෙන මේ සාකච්ඡා, සංවාද, ඉදිරිපත් කරන මත, අදහස් එක්ක අපි නිවැරදි තැනකට කෙසේද යන්නේ. ප‍්‍රශ්නයට විසඳුම කුමන ආකාරයටද අපි ඇති කරගන්නේ අපි සැම කෙනෙක්ම තේරුම් ගත යුතු වෙනවා. ප‍්‍රශ්නයක් තිබෙනවා. ප‍්‍රශ්නයට විසඳුමක් දිය යුතු වෙනවා. විසඳුම කියන්නේ රට බෙදීම හෝ රට කැඞීම නොවෙයි. රට පාවා දීම නොවෙයි. ප‍්‍රශ්නය විසඳීමේ සැබෑ ස්වරූපය සහ එය අධ්‍යයනය කරමින් අපි මූලික වශයෙන්ම ඒ ගැටුම් නිරාකරණය කරන ආකාරයට අප විසින් ඇති කර ගත යුතු විසඳුමක්. මෙය සියලු ජාතීන්, සියලු ගෞරවණීය වන්දනීය පූජණීය මහා සංඝරත්නය ප‍්‍රමුඛව ප‍්‍රජකතුමන්ලා සිංහල, දෙමළ, මුස්ලිම් හින්දු ඉස්ලාම්, කතෝලික සියලු ජනකොටස් අතරේ ඒ සහෝදරත්වය සහජීවනය තුළ බෞද්ධ දර්ශනය තුළ ගොඩනැගෙන සමාජයක් බිහිකිරීමේ කාර්යයට අප සියලු දෙනාම කැප විය යුතු වෙනවා.

මේ ඓතිහාසික උතුම් පූජනීය ස්ථානයේ අනාගත අභිවෘද්ධිය සඳහා රජයක් විදියට කළ යුතු යම් කාර්යයක් තිබේ නම් ඒ කාර්යයනුත් ඉටුකිරීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින් වන්දනීය පූජනීය මහා සංඝරත්නයට මගේ පූජනීය නමස්කාරය පුද කරමින් පින්වත් ඔබ සියලුදෙනාටම තෙරුවන් සරණ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − seven =