තණතිල්ල නිසා ක්‍රිකට් පිටි පාලකයා රැකියාවෙන් නෙරපා හරියි

(කොළඹ, ලංකාපුවත්) –විකට්ටුව අසල තණතිල්ල පන්දු යවන්නන් දෙදෙනකුට යෝග්‍ය වන පරිදි සිතාමතාම සැකසීමට එකඟව කටයුතු කළ ක්‍රිකට් ක්‍රීඩාපිටි සකස් කරන්නෙක් (groundsman ) සේවයෙන් පහ කරනු ලැබීමක් ඉන්දියාවෙන් වාර්තා වේ.

එම ක්‍රීඩා පිටි පාලකයා එවැනි ක්‍රියාවක් සඳහා එකඟ වී ඇති බව අනාවරණය වී ඇත්තේ වීඩියෝ දර්ශන මගිනි.

ඉන්දියාව සහ නවසීලන්තය අතර පසුගිය බදාදා ‘පූනේ’ (Pune) නගරයේ පැවති එක්දින තරඟය සඳහා පිටිය සැකසීමේ දී විකට්ටුව අසල තණතිල්ල පන්දු යවන ක්‍රීඩකයන් දෙදෙනකුගේ වාසියට සැකසීමට එම තැනැත්තා එකඟ වී ඇති බව පැවසේ.

පන්ඩුරාන්ග් සැල්ගවුන්කාර් (Pandurang Salgaoncar ) නම් එම ක්‍රීඩා පිටි පාලකයා තවමත් නම් හෙළි කොට නැති පන්දු යවන්නන් දෙදෙනකුට යෝග්‍ය වන පරිදි තණතිල්ල සකස් කරන ආකාරය ඉන්දියා ටුඩේ රූපවාහිනියේ (India Today TV) කැමරාවලට හසුව ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා ඇත.

පිටිය ඇතැමුන්ට වාසි සලසන ආකාරයට සැකසීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පවසයි.

තණතිල්ල එසේ සැකසීම සම්බන්ධයෙන් චෝදනා ලබන පන්ඩුරාන්ග් සැල්ගවුන්කාර් (Pandurang Salgaoncar ) වහාම එම තනතුරෙන් ඉවත් කළ මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සම්මේලනය (MCA) එම තනතුර සඳහා වෙනත් ක්‍රීඩා පිටි පාලකයකු ආදේශ කර ඇත.

ඉහත කී සිද්ධියෙන් අනතුරුව තරඟ තීරක ක්‍රිස් බ්‍රෝඩ් (Chris Broad) තණතිල්ල පරීක්ෂා කර ඇති අතර ඉන් අනතුරුව ඔහුගේ තීන්දුව පරිදි ඉන්දියාව සහ නවසීලන්තය අතර තරඟය පෙරට ගිය බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය(BCCI) පවසයි.

එම තරඟය ආරම්භ කරනු ලැබීමට පැය කීපයකට පෙර ක්‍රිකට් පිටි පාලක පන්ඩුරාන්ග් සැල්ගවුන්කාර් (Pandurang Salgaoncar ) බුකි කරුවකු (bookmaker )ලෙස පෙනී සිටි මාධ්‍යවේදියකු සමඟ කතාබහක නිරත වෙමින් සිටින දර්ශන ‘ඉන්දියා ටුඩේ’ මාධ්‍ය ජලය විසින් විකාශනය කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *