කටාර් රැකියා වෙළඳපළේ වටිනා අවස්ථා රැසක්

(කොළඹ, ලංකාපුවත්) – කටාරයේ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් උදාවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කටාර් හි පැවැති කටාර් – ශ්‍රී ලංකා ව්‍යාපාර සමුඑව අමතමිනි.

මෙහිදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා කටාර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර දිර්ඝ කාලයක සිට පැවති ව්‍යාපාරික සබඳතා පසුගිය දෙවසර තුළ වඩාත් තර කර ගැනීමට අවස්ථාව ලැබුණ බවත්, ඒ අනුව දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ බවත් කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා,

” නව රජය යටතේ ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකට යොමු වී තිබෙනවා. එහිදී කටාර් වැනි මිත්‍රශීලී වෙළෙඳපොළවල් සමග ඒකාබද්ධ ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම ඉතා වැදගත්. මේ වන විට ශ්‍රී ලංකාවෙන් සිදුකරන අපනයනවල තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා නව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එමගින් ශ්‍රී ලංකාවට කලාපීය හා ගෝලීය වශයෙන් වෙළඳ සබඳතා තර කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා” යැයි පැවසීය

“කටාර් වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සන්ධිස්ථානයක්. මෙම ව්‍යාපාරික සමුඑව දෙරටේම ව්‍යවසායකයින්ට හා ව්‍යාපාරික ප්‍රජාවට ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට අවශ්‍ය වේදිකාව සකසා දී තිබෙනවා. අධ්‍යාපනික – තාක්ෂණික ක්‍ෂේත්‍රයන්ගෙන් හා යටිතල පහසුකම් වලින් කටාර් රාජ්‍ය ස්ථාවර තත්ත්වයක පවතිනවා. එබැවින් කටාර් රාජ්‍ය සමඟ වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීම දෙරටම ඉතා වැදගත් වනවා. එසේම කටාර් හි ව්‍යාපාරික ප්‍රජාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න ශ්‍රී ලංකා රජය සූදානම්. එබැවින් කටාර් ව්‍යාපාරික ප්‍රජාවට මා ඇරයුම් කරනවා ශ්‍රී ලංකාවට පැමිණ පවතින ව්‍යාපාරික අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නා ලෙස. කටාර් රාජ්‍ය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉතා හොඳ අවස්ථා රැසක් උදා කර දී තිබෙනවා. ඉදිරියේදී කටාර් රැකියා වෙළෙඳපොළ සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සහභාගීත්වය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා යැයි ” වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව 2016 දී ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යයට කළ අපනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 14.5කි. කෙසෙල් , තේ, පොල් කිරි, බිස්කට්, ඇඟලුම්, එළවලු ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍යට අපනයනය කරනු ලබන අතර කටාර් රාජ්‍යයේ සිට ප්ලාස්ටික්, ඇලුමිනියම් නිෂ්පාදන, කඩදාසි, යකඩ, වානේ කාබනික රසායනික ද්‍රව්‍ය කටාර් සිට ආනයනය කරයි. 2016 වසරේදී මෙම ආනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් විය.

මෙම කටාර් – ශ්‍රී ලංකා ව්‍යාපාර සමුඑව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කටාර්හි වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කලීෆා බින් ජසීම් බින් අල් තානි (Sheikh Khalifa Bin Jassim Al – Thani ) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, දෙරටේම ව්‍යාපාරිකයින් ඇතුඵ විශාල පිරිසක් සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *