අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් රට නව දිශාවකට ගමන් කළ හැකියි

(කොළඹ, ලංකාපුවත්) –අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් රට නව දිශාවකට ගමන් කරවන්නට හැකි වන බවත් එක සමාන පුරවැසිභායක් රටේ ඇති කිරීම තුළින් ආර්ථික සමෘද්ධිය ඇති කළ හැකි බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද (31) මේ බව සදහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව වන විවාදයට එක්වෙමිනි.

“රටට ව්‍යවස්ථාවක් ඕනද කියන අහන ඩලස් මන්ත්‍රිතුමා එදා සුදු නෙළුම අරගෙන ගමින් ගමට ගියා ඒකීය වචනය අයින් කළ ව්‍යවස්ථාවකට. ඉඩම් බලතල හා පොලිස් බලතල දෙන්න කියන ව්‍යවස්ථාවක් අරගෙන. මේ යුගයේ දැවන ප්‍රශ්නයේ දී ලස්සන වචන දාලා පැනලා යන්න එපා.

ශ්‍රී ලංකාවේ බැරෑරුම් ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නයයි. ඇතැම් අයට එහෙම ප්‍රශ්නයක් නෑ. යම් තරමක හෝ බුද්ධියක් තිබෙන කිසිම පුද්ගලයකුට විශ්වස කරන්න පුළුවන්ද ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ කියලා. සියලු දේශපාලන පක්ෂවල නායකයින් ශ්‍රී ලාංකීය ජාතියක් බිහි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාවක් ගැන කතා කර තිබෙනවා.

දිගු ඉතිහාසයක් පුරා අවශ්‍යතාවයක් වූ රටේ විවිධත්වය සැබෑ කරලීමට මෛත්‍රිපාල සිරිසේන රජය ඉදිරිපත් වී සිටින්නේ. අන්තවාදී කල්ලියක් අගතිගාමි භායනක අඳහස් ඉදිරිපත් කරමින් සුපුරුදු පරිදි ප්‍රතික්ෂේප කලත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සැබෑ ශ්‍රී ලාංකික ජන නායකයෙක්. එතුමාට ලබාදුන් ජනවරමේ ශක්තිය අනුව එතුමා ජනපති වී අවුරුද්දක් සම්පූර්ණ වූ පසු ප්‍රතිඥා දීලා මෙම ව්‍යවස්ථාදායක සභව පිහිටුවනු ලැබුවා. කුමන්ත්‍රණ කළේ නෑ. විවෘත ක්‍රියාවලියක් තිබුණා.

සියලු දෙනාගේම අඳහස් ලබාගෙන මෙවැනි විවාදයක් තියන්නේ. එකඟතාවය්ක් ඇතිකරගන්න ගමන යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එයයි. සාකච්ඡා මාර්ගයෙන් බහුතර එකඟතාවයට එකඟ කරගන්න හැකි වුණා. එකාධිපතින්ට එහෙයි කියපු, වලං හොදපු අයට නොතේරුණාට ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට තේරෙනවා මොකක් ද කියලා.

අද හොඳ අවස්ථාවක්. පශ්වාත් ස්වාධීන යුගයේ දී අපට බොහෝ අවස්ථා මඟ හැරී තිබෙනවා. මෙම අවස්ථාව මඟ හැරිය යුතු නෑ. පසුගිය වසර හැත්තෑවේදී සියලු ජනතාව අපේක්ෂා කරනවා, මූලික වශයෙන් වෙනස්කම් කීපයක්. තිරසාර දිගුකාලීන සාමයක්, සමාන අවස්ථා ලබාදිය යුතුයි. එක සමාන පුරවැසිභායක් මේ රටේ ඇතිකළ යුතුයි. ඒ තුළින් ආර්ථික සමෘද්ධියඇති කළ හැකියි. රට නොබෙදුණු භීෂණයෙන් තොර රටක් දකින්නට ඔවුන් කැමැතියි. තරුණ ජීවිත දහස් ගනනක් විනාශ වුණා.

දුප්පත් ජනතාව සිංහල, දෙමළ ජාතීන් වඳ වේදනා වින්දා. යළි එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇතිවෙනවාට කැමැති නෑ. අපිට හැකිවෙන්න ඕන අලුත් රටක් වශයෙන් එක්සත්ව ගොඩනැඟෙන්න. දැනටමත් වාර්තා කීපයක් ව්‍යවස්ථා ක්‍රියාවලියට එකතු වී තිබෙනවා. මෙය සියලු දෙනා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ක්‍රියාවලියක්.

ඵලදායි සංවාදයක් ගොඩනැගිය යුතුයි. හොඳ පදනමක්, විශ්වාසනීය රාජ්‍යයක් ගොඩනැගීම,ස්ථාවර, ප්‍රතිසන්ධන රාජ්‍යයක් ගොඩනැංවිය යුතුයි. අලුත් ව්‍යවස්ථාව හැදීමෙන් රට නව දිශාවකට ගමන් කරවන්නට හැකි වෙනවා.

අවුරුදු 70 තිස්සේ අපට ලබුණු දියුණුව ලබාගත්තේ නෑ. ජාති,ආගම්, පක්ෂ වශයෙන් කුලල් කෑවා. අපි රටක් ලෙස ඉදිරියට යන්නේ කෙසේ ද කියලා සාකච්ඡා කරන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුළු ජාතීන්ගේ අරාක්ෂාව සුරක්ෂිත කරන්න පුළුවන්. මෙත්තා,කරුණා මුදිතා,උපේක්ඛා යන කරුණු පාදක කරමින් ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට කවුරුද විරුද්ධ වන්නේ? ආර්ථික සෞභාග්‍ය සහ සංවර්ධනය අපේ ජාතියෙන් ගිලිහෙනවා. ජාතිය යළිත් වරක් යුද්ධයකට යාවි. ශ්‍රී ලංකාව දියුණු ජාතියක් වෙන්නට නම් ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසය ඇතිවන දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකරගත යුතුයි” යැයිද අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *