රාජ්‍ය ආයතන එකම පරිගණක ගත ජාලයකට දෙවැනි අදියර 07වනදා

(කොළඹ, ලංකාපුවත්) –   රාජ්‍ය  ආයතන එකම පරිගණක ගත ජාලයකට සම්බන්ධ කෙරෙන ලංකා රාජ්‍ය ජාල (LGN) ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹේ.

මේ යටතේ මුලික වශයෙන් තවත් රාජ්‍ය  ආයතන 860ක් සම්බන්ධ කිරීම ආරම්භ  කෙරෙන බව  ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.

මෙම ලංකා  රාජ්‍ය   ජාල ව්‍යාපෘතියේ දෙවන අදියර  ක්‍රියාත්මක  කිරීම ලබන 07වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ  ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,පළාත් සභා ලේකම් කාර්යාල,  කලාප අධ්‍යපන කාර්යාල සහ පළාත් පාලන ආයතන මෙම ව්‍යාපෘතිය යටතේ  ජාල ගත කෙරෙන රාජ්‍ය  ආයතන වලට අයත්වන බව නියෝජිතායතනය පවසයි.

අන්තර්ජාල පහසුකම් ලබාදීම/ මෙගා බයිට්  100 දක්වා  ධාරිතාවයෙන් යුතු පුළුල් පරාස දත්ත සම්බන්ධතාවයක් ලබාදීම /ආයතන  පරිශ්‍රය  ආවරනය වන පරිදි රැහැන් රහිත පරිගණක ජාලයක් ස්ථාපනය කිරිම/රාජ්‍ය ආයතනයක් සතු දත්ත තවත් රාජ්‍ය ආයතනක් සමග විශ්වාසදායී සහ සුරක්ෂිත  ලෙස හුවමාරු කර ගැනිමට  හැකිවීම එමෙන්ම මෙම රාජ්‍ය ආයතන වලට පැමිණෙන මහජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් සැලසීම  ආදී පහසුකම් රැසක් රාජ්‍ය ආයතන වෙත හිමිවේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලංකා රාජ්‍ය මේඝය හෙවත්  ලංකා ගවර්න්මන්ට්  ක්ලවුඩ්  වෙත ප්‍රවේශ වී ආරක්ෂාකාරී සහ විශ්වාසදායී ලෙස  රාජ්‍ය ආයතන වල දත්ත ගබඩා කිරීමේ පහසුකම් සැළසීම සහ ඉ-මේල් ලිපි ගොනු කළමනාකරණ පද්ධති ඉ-රාජ්‍ය සේවාවන් ලබා දිමට  පරිශ්‍රීලනය කිරීමට හැකිවීමයි.තවද  දිවයිනේ ඕනෑම ස්ථානයක සිට වයිෆයි තාක්ෂණය ඔස්සේ ලංකා රාජ්‍ය ජාලය සමග සම්බන්ධවීමේ පහසුකම්ද මේ යටතේ  හිමිවේ.

ඩිජිටල් ශ්‍රි ලංකාවක් දැක්ම යතාර්තයක් කර ගැනීමට පෙර මග සුදානම් කර ගැනීමේදී මෙරට රාජ්‍ය අංශය  මේ අයුරින් සවිබල ගන්වා තිබීම අතිශයින් වැදගත් බවද   අවසන් වශයෙන් මෙමගින්  මහජනතාවට කාර්යක්ෂම සහ පලදායි සේවාවක් ලබා ගැනීමට හැකිවන බවද නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =