ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ෆොටෙල් 2017 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයට සමගාමීව සී එක්ස් ඕ සමුළුව අද(01) කොළඹදී ආරම්භ වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ කර්මාන්තය සදහා ඉදිරි අනාගතයේ ඇති ඉඩකඩ පිළිබද සාකච්ඡා කිරීම මෙම සමුළුවේ අරමුණය.

විදේශීය විද්වත් දැනුම, දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයට යොදා ගැනීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරෙනවා. මෙහිදී දේශනයන් පැවැත්වීමට විදේශීය දේශකයින් කිහිප දෙනෙකුද සහභාගී විය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

” ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට දැන් සූදානම්. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු අප රජයක් ලෙස දැන් ඉටුකරමින් සිටිනවා. ශ්‍රී ලංකාව කලාපයේ වැඩිම ඒකපුද්ගල ආදායම ලෙස බවට දැන් පත්වෙමින් සිටිනවා. තාක්ෂණික වශයෙන් දැනුම වර්ධනය කිරීමට අපි කටයුතු කරන්න ඕනේ. තවදුරටත් මධ්‍යම ආර්ථිකයක් සහිත රටක් විදිහට අපට ඉදිරියට යන්න බැහැ. අපේ රැකියා කාර්ය සාධනය මීට වඩා කාර්යක්ෂම කරන්න අප කටයුතු කරන්න ඕනේ. පුළුල් ආර්ථිකයකට අපි ගමන් කරන්න ඕනේ. “

මෙහිදී අදහස් දැක්වූ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

” ශ්‍රී ලංකාව දැන් ඩිජිටල් ලෝකයක් කරා ගමන්කරමින් තිබෙනවා. මෙවර ඉන්ෆොටෙල්හි තේමාව ඊට මනාව ගැලපෙනවා. යටිතල පහසුකම් දියුණුවට මොකද්ද කරන්න ඕනේ කියලා අපි දැන් අවබෝධකරගෙනයි ඉන්නේ. රජයේ ආයතන ඩිජිටල් කරනය කරන විශාලතම ව්‍යාපෘතියක් අපි ලබන සතියේ ආරම්භ කරනවා. සාමාන්‍ය රජයේ සේවාවන් මේ හරහා ඩිජිටල් කරණය කිරීමට නියමිතයි. දැන් ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයකටත් සූදානම්. ඉදිරියේදී සෑම පුරවැසියෙකුටම සුවිශේෂී වූ හැදුනුම් අංක නිකුත් කිරීමේ ක්‍රම වේදයකටත් කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකාව දැන් ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු ස්ථානයක් කියල කලාපයේ බිලියන එකයි දශම හතක ජනතාවක් හමුවේ අපි කියනවා. මේ ප්‍රදර්ශනය හරහා අපට අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම ලබාගත හැකියි. “

ඉන්ෆොටෙල් 2017 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය හෙට (02) ආරම්භ වේ. ශ්‍රී ලංකාව 2042 වන විට ආර්ථික ඩිජිටල්කරණය ඔස්සේ ඇමෙරිකා ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් අත්පත් කර ගැනීම මෙවර ප්‍රදර්ශනයේ මූලික පරමාර්ථය වී තිබේ.

ආර්ථික වෙනසට ඩිජිටල්කරණයේ ගැලපීම යොදා ගන්නා ආකාරය පිළිබද පුළුල් අවබෝධයක් හා දැනුමක් මෙම ප්‍රදර්ශනය ඔස්සේ ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 6 =