සතොසෙ සහල් සහ පරිප්පු මිල අද සිට පහළට

(කොළඹ, ලංකාපුවත්) – ලංකාව පුරා ඇති හාර දහසක් (4000 ක්) පමණ වන සමුපකාර ප්‍රාදේශික, කෝප් සිටි හා මිනි කෝප් සිටි මගින් සහල් ඇතුඵ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, තොග මිලටම ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මීට අමතරව පාරිභෝගික ජනතාව වැඩිවශයෙන් ගැවසෙන බස්නැවතුම්පොළ, දුම්රිය ස්ථාන, සතිපොළවල් ආශ්‍රිතවද ජංගම අලෙවි රථ යොදා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ, වොක්ෂෝල් වීදිය සතොස මූලස්ථානයේ අද ( 01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ශීඝ්‍රයෙන් ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ( CWE) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවත් එහි පළමු පියවර ලෙස සහල් ආනයනය කර බෙදා හැරීමට පියවර ගෙන ඇති අතර , ඒ අනුව ඉන්දියාවේ සිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි පැවසීය.

එමෙන්ම එළඹෙන උත්සව සමයට සමගාමීව තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් ආනයනය කර මෙම වසර අවසන් වීමට පෙර වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව වෙළෙඳපොළේ සහල් මිල ඉතා ඉක්මනින් අඩුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා,

” ලංකාව පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් 370 න්ම තොග මිලට සහල් ලබා ගන්න පුළුවන්. සතොසේ සහල් මිල තවදුරටත් අඩුකර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 74ක් වූ නාඩු කිලෝව රු. 73 ක් දක්වාත් රු 80 ට පැවති සම්බා කිලෝ ග්‍රෑම් 1ක් රු. 78 දක්වාත්,රු 65 ට පැවති සුදු කැකුළු කිලෝව රු. 64 කටද , කැඩුනු සහල් ( Broken Rice) රු. 60 ක ට ද ලංකා සතොස අලෙවිසැල්වලින් ලබා ගත හැකි බව පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සීතා සේනාරත්න හා එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග යන මහත්මීන්ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × three =