සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු ජනපතිගේ අවධානයට

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධි නිලධාරීන් මුහුණදී සිටින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

දිවයින පුරා සමෘද්ධි නිලධාරින් මුහුණදී සිටින ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

සමෘද්ධි නිලධාරින්ගේ විශ‍්‍රාම වැටුප් ගැටලුව සහ 2014-01-03 වන දින සිට දෙපාර්තමේන්තුවේ නව සේවකයකු ලෙස අන්තර්ග‍්‍රහණය කළ නිලධාරින්ට අත්සන් කරන ලද ගිවිසුම අනුව වැටුප් අඩුකිරීමකින් තොරව ස්ථීර පත්වීම් ලබාදීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරුණු අතර, ඒ සඳහා අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම සමෘද්ධි නිලධාරින් සඳහා සුදුසු උසස්වීම් ක‍්‍රමවේදයක් සකස් කිරීම, පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට එක් කරන ලද රු 10,000 ලබා ගැනීම, රජය මගින් ක්ෂේත‍්‍ර නිලධාරින්ට ලබාදෙන රු 300ක ක්ෂේත‍්‍ර නිලධාරී දීමනාව සහ රු 2000ක ගමන් වියදම ලබා ගැනීම ආදි ගැටලු පිළිබඳව ද මෙහිදී ඉල්ලීම් සිදු කළ අතර මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඒ පිළිබඳව ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගනුදෙනුවලදී සිදුවන ප‍්‍රමාදය වළක්වා ගැනීමත්, කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහාත් සියලුම සමෘද්ධි බැංකු පරිගණක ගතකර, නවීකරණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ජේ.පී.එස් වීරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග යන මහත්ම මහත්මීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *