දෙහිවල පොලිස් බුද්ධි අංශ ස්ථානාධිපති ඝාතනයට ජීවිතාන්ත සිර දඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල පොලිස් ස්ථානය තුළදී 2003 වසරේ දී එහි බුද්ධි අංශයේ සථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් තාබෘ මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොටි සාමාජිකයෙකු යැයි සැක කෙරෙන පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි සෙල්ලතුරේ කිරුබාකරන් නැමති අයෙකුට ය.

2003 වසරේ ජූලි මස 23 වනදා දෙහිවල පොලිස් ස්ථානය තුලදී එහි බුද්ධි අංශයේ ස්ථානාධිපති සුනිල් තාබෘ මහතාට පිස්තෝලයකින් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ තුවක්කු ආඥා පනත යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීන්දුව දෙමින් කියා සිටියේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ චෝදනා 03ක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවය.

විත්තිකරු වසර 15කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් ඔහුට ලිහිල් දඬුවමක් පනවන මෙන් ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රු. 25000/-ක දඩයක් නියම කළා. දඩ මුදල නොගෙවන්නේ නම් මාසයක සිර දඬුවම් නියම කරන බවද නියෝගයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *