නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බදවා ගනී

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බඳවා ගැනීම ලබන 15 වනදා සිදු කිරීමට නියමිත ය.

විවෘත තරඟ විභාගයකින් අනතුරුව පැවැත්වූ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් පසු මෙම පත්වීම් ලබාදීමට නියමිත ය. එම පත්වීම් ලබන සියලු සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ද ‘නායකත්ව පුහුණුවක්’ (න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම තුළින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය පිළිබඳ පාඨමාලාව) ලබාදීමට සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

ඒ අනුව නායකත්ව ගුණාංග, සමාජ විනය හැඩගැස්වීම, නිපුණතා සංවර්ධනය, අභියෝග ජය ගැනීමට අවශ්‍ය මානසික සූදානම ඇති කිරීම, නිවැරදි සමාජ අපේක්ෂාවන් ජනිත කිරීම, වෘත්තීය මාර්ගෝපදේශනය, මානසික සමතුලිතතාව ආදී වර්ධනය කිරීම තුළින් සමෘද්ධි සංකල්පයෙහි අභිමථාර්ථ සාධනයට දායක කරගැනීම මෙහි පරමාර්ථයන් ය.

මෙම නායකත්ව පුහුණුව 2017 නොවැම්බර් 20වැනි දින දිවයින පුරා යුධ හමුදා මධ්‍යස්ථාන කිහිපයක දී පැවැත්වීමට නියමිත ය.

ඒ සම්බන්ධ වූ සාකච්ඡාවක් ඊයේ(31) සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ශිරාණි වීරකෝන්, සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.වී. රවිප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *