ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුළුව ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – සාමකාමී ලොවක් ගොඩනැගීමට ආගමික දර්ශන කෙරෙන් ලබාදෙන මගපෙන්වීම ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙයි.

මෙවර ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් මෙවර මෙම සමළුව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47 ක ප‍්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප‍්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටිති.

ලෝක සාමය උදෙසා බුදු දහම, යන තේමාව යටතේ පැවැත්වෙන සමළුව අද සිට 07 වනදා දක්වා පැවැත්වෙන අතර නොවැම්බර් 02 සහ 03 දෙදින එය අරලියගහ මන්දිරයේ ප‍්‍රධාන සම්මන්ත‍්‍රණ ශාලාවේදී ද, නොවැම්බර් 04 වන දින සමාප්ති උත්සවය සහ සංස්කෘතික සංදර්ශනය කොළඹ නෙළුම් පොකුණ රගහලේදී ද පැවැත්වේ.

ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම සමළුවේදී ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම සදහාත්, ලෝකය පුරා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සදහාත් වන ප‍්‍රකාශයක් එළිදැක්වීමට ද නියමිතය.

මෙම සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ලෝකයේ පවතින විවිධ අර්බුද සහ ගැටුම්කාරී තත්ත්වයන් අවම කරමින්, සාමකාමී ලෝකයක් ගොඩනැගීමේදී ආගමික දර්ශන තුළින් සිදු කෙරෙන මගපෙන්වීම ඉතා වැදගත් බවයි.

බුදු දහමින් පෝෂණ වූ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් වන ශී‍්‍ර ලංකාවේදී මෙවර මෙම බෞද්ධ සමළුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ලැබීම පිළිබද මෙහිදී සිය සතුට පළකළ ජනාධිපතිතුමා මෙම බෞද්ධ සමළුව තුළින් ලෝකයට ලබාදෙන පණිවිඩය කාලානූරූපිව ඉතාමත් සුවිශේෂී බව ද කියා සිටියේය. බෞද්ධ සමළුවේ සභාපති පූජ්‍ය කම්බා ලාමා ගබ්ජු ස්වාමින් වහන්සේ විසින් සමළුවේ ආරම්භක දේශනය සිදු කළහ.ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමළුව නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා යන මහත්වරුන් ද දෙස්, විදෙස් ගිහි පැවිදි සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =