ඕසට්‍රේලියානු අගමැතිගෙන් ඇගයීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තිබෙන වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (02) අරලියගහ මන්දිරයේදී පැවැති හමුවේදී අවධාරණය කෙරිණි.

වත්මන් රජය පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අගය කළ ටර්න්බුල් මහතා, ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ පූර්ණ සහය ලබාදෙන බව පැවසීය. ඊට අවශ්‍ය නිති රීති දැන් කෙටුම් පත් කර ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතා මේ පිළිබඳව ඕස්ට්‍රේලියාව සමඟ සම්බන්ධීකරණ කටයුතු කරනු ඇති බවද පැවසීය.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලීමේ අභිලාශය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. එසේම ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීමේ අවශ්‍යතාවයද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මේ ප්‍රයත්නය සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල් දැනටමත් සහය ලබා දෙන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.

එමෙන්ම මත්තල සහ හම්බන්තොට සංවර්ධන කිරීම සඳහා ඉන්දියාව මෙන්ම චීනයේ ද සහයෝගය ලැබෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. චීනයේ ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධ වන ආකාරය පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

මාලදිවයිනේ ඇති වී තිබෙන තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරුන් දෙපළ එරට නිදහස් සහ සාමකාමී ඡන්දයක් පැවැත්වීම සඳහා සහයෝගය ලබාදීම කෙරෙහිද සාකච්ඡා කළේය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ලැබීය.

මෙහිදී දෙරට අතර ජොත්‍යන්තර වෙළදාම සහ ආයෝජන පිළිබඳ රාමුවක් සැකසීමේ ගිවිසුමටෙ අත්සන් තැබීමද මේ අවස්ථාවේදී සිදු විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතායි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ඕස්ටට්‍රේලියාවේ ජාතික ආරක්ෂක උපදේශක ජස්ටින් බාසි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු මේ සාකච්ඡාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍යවරයා වෙත උදෑසන භෝජන සංග්‍රහයක් ද පිරිනැමුණු අතර තමන් ජීවිත කාලය පුරා විදි රසවත්ම උදෑසන ආහාරය එය බව ටර්න්බුල් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *