උමාඔය ව්‍යාපෘතියේ වැඩ සියයට 86 ක් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතුවලින් සියයට 86 ක් අවසන් වී තිබෙන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. සමස්ථ ව්‍යාපෘතිය 2018 වසර අවසන් වීමට පෙර නිමා කිරීම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන්ගේ අරමුණ වී ඇතැයිද ඔහු පැවසීය.

තවත් කැණීම් සිදු කිරීමට ඇත්තේ කිලෝමීටර් 5 ක ප‍්‍රමාණයක් බවත් එසේ වුවද එහි කැණීම් දිනකට මීටර් 5 ට සීමා කර ඇතැයිද ඔහු පැවසීය. වේගයෙන් කැණීම් සිදු කිරීමට වඩා භූමියේ ඇති වී තිබෙන පැලීම් හා ජලය කාන්දුවන තත්ත්වයන් වැලැක්වීම ඉංජිනේරුවන්ගේ අරමුණ වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

උමාඔය ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය පිළිබඳ විමසා බැලීම සඳහා පසුගියදා (05) සිදු කළ නිරීක්‍ෂණයකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

ව්‍යාපෘතිය යටතේ ඇති වී තිබෙන භූ පැලීම් වසා දැමීමේදී වැල්ලවාය ප‍්‍රදේශයේ ජනතාවට ගැටළු ඇති වී තිබේ. පැලීම් වැසීමේදී යොදා ගන්නා රසායන හා එමගින් නික්මෙන දූවිලි මුසු වීම හේතුවෙන් පානීය ජලය සම්බන්ධයෙන් ගැටළු මතු වී ඇත. රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මේ පිළිබඳ වැඩි අවදානයක් යොමු කළ අතර ඒ සඳහා වහාම කි‍්‍රයාත්මක විය. ජලය පිරිසිදු කිරීමේ කි‍්‍රයාවලියක් සඳහා අවශ්‍ය සම්පත්, ජල සම්පාදන මණ්ඩලය වෙත සපයා දීමටත් ඒ සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 15 ක මුදලක් වෙන් කර දීමටත් මෙහිදී පියවර ගත්තේය. ඒ ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉරාන බලධාරීන් සමග පැවැති සාකච්ඡුාවකින් අනතුරුවයි. එමෙන්ම එම කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආනන්ද කුමාරසිරි මහතා වෙත පවරන ලදී.

මේ වන විට ව්‍යාපෘතියෙන් ඇති වූ බලපෑම් බොහෝමයක් සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති බවත් තවත් මාස 03 ක් වැනි කාලයකදී සියළු බලපෑම් පාලනය කරන බවට ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන් පොරොන්දු වූ බවත් රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

උමග ඉදිකිරිමේන් අනතුරුවද කිසියම් බලපෑමක් ඇති වේද යන්න පිළීබඳ පරීක්‍ෂණ සිදු කරමින් සිිටින අතර එවැන්නක් සිදු නොවන බව මේ දක්වා සිදු කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇතැයිද භූ විද්‍යාඥයින් විසින් සහතික කර තිබේ. පිහිටි පොලොවේ සිටි මීටර් ගණනාවක් ගැඹුරට වන්නට උමග පිහිටා ඇති බැවින් හා කළුගල මතින් උමග ඉදිවෙමින් පැවැතීම තුළ එවැනි බලපෑමක් ඇති නොවන බව ව්‍යාපෘතිය භාර භූ විද්‍යාඥයින්ගේ මතයයි.

නිසි ක‍්‍රමවේද භාවිතා නොකිරීම හේතුවෙන් ගැටළු ඇති වූ බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පරිසරය පිළිබඳ අවදානය යොමු කරමින් හා විෂයට ලැදිව කටයුතු සිදු වූයේනම් සිදු වූ විනාශය වලක්වා ගැනීමට ඉඩ තිබූ බවයි. එමෙන්ම පසුගිය රජය සමයේ මෙම ව්‍යාපෘතියෙන් සිදුව ඇති මූල්‍ය අවභාවිතාවද සුළුපටු නොවන කාරණයක් බවත් ඒ පිළිබඳ කි‍්‍රයාමාර්ග ගැනීම වර්තමානයට පැවරෙන වගකීමක් බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *