ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයට සුදුසුම තැන ශ්‍රී ලංකාවයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – 2050 වසර වන විට ඉන්දියානු සාගරයේ ආර්ථික මෙන්ම ප්‍රවර්ධන කේන්ද්‍රස්ථානය බවට පත් වීමට සුදුසුම ස්ථානය ශ්‍රී ලංකාව බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ වූ ‘2017 සිටිනෙට් කොළඹ කොංග්‍රසය’ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

“ශ්‍රී ලංකාවට හොඳම වරාය නගරය තිබෙනවා. එය රටේ බස්නාහිර සහ වයඹ ප්‍රධාන නගර සංවර්ධනය සඳහා යොදා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර තිබෙනවා. කොළඹ සිට මෑතකදී විවෘත කළ හම්බන්තොට වරාය දෙසට පුළුල් මාර්ග විවෘත වෙනවා. ඒ මාර්ග සඳහා යටිතල පහසුකම් සැපයීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට සිට කොළඹ දක්වා දිවෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඊට සම්බන්ධ වෙනවා. මෙම මාර්ග ජාලය මගින් කොළඹ සහ හම්බන්තොට වරාය දෙක සම්බන්ධ කෙරෙනවා. එසේම කටුණායක සහ හම්බන්තොට ගුවන් තොටුපොළ දෙක සම්බන්ධ කෙරෙනවා. ඊට අමතරව මෙම ජාලයේ කේන්ද්‍රස්ථානයක් ලෙස මහනුවර නගරය සම්බන්ධ වෙනවා. කොළඹ කර්මාන්ත කේන්ද්‍රස්ථානය බවටත් හම්බන්තොට ප්‍රධාන කාර්මික සහ ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ලෙසටත් වැඩි දියුණු කරනවා. ඒ අතර විශාල සංචාරක සහ තොරතුරු තාක්ෂණ ප්‍රදේශයක් ලෙස මහනුවර දියුණු වෙනවා. ශ්‍රී ලංකාවෙන් 30%-35% ක් පමණ මෙම කේන්ද්‍රස්ථාන වලට අයත් වෙනවා.

මෙම සැලැස්ම අනුව සම්පූර්ණ බස්නාහිර ප්‍රදේශය මහනගර සංවර්ධන සැලැස්ම යටතේ විශාලතම නාගරීකරණ ප්‍රදේශය බවට පත් කිරීමට කටයුතු කරනවා. මෙහිදී දේශපාලන මෙන්ම මුල්‍ය ගැටළු රැසකට මුහුණ දීමට සිදු වෙනවා. මෙය එක ප්‍රධාන නගරයක් කිරීමේ අරමුණින් සිදු වන්නේ නෑ. සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එනම් අධ්‍යාපන, ප්‍රවාහන, පරිසර, සෞඛ්‍ය ආදි ක්ෂේත්‍ර ‍ආවරණය වන පරිදි මහනගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වනවා” යැයිද අගමැතිවරයා කීය.

ආසියා ෆැසිපික් කලාපයේ රටවල් විසි දෙකක ප්‍රධාන නගර 138ක් නියෝජනය කරමින් එම රටවල නගරාධිපතිවරුන් මීට සහභාගී විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම සම්මේලනය හෙටින්(08) අවසන් වේ.

විශ්වයම එකම නගරයක් යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සම්මේලනයේ සභාපතීත්වය දරන්නේ දකුණු කොරියාවේ සෝල් අගනුවර නගරාධිපති පාක් වොන් සුන් මහතාය. තිස්වන වරටත් පැවැත්වෙන සම්මේලනයේ මෙවර සත්කාරකත්වය දරන්නේ කොළඹ මහනගර සභාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *