මත්ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ඖෂධ ජාවාරම් වැටලීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ලෙස යොදාගන්නා ඖෂධ ජාවාරම් වැටලීම සඳහා පවතින ඖෂධ නීති බලාත්මක කිරීමේ හැකියාව පිලිබඳ සාකච්ජාවක් ඊයේ (06) අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

රජයේ අනුමත ඖෂධ වර්ග කිහිපයක් සහ නීති විරෝධිව මෙරටට ගෙන එන ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස පුද්ගලයින් භාවිත කරන බැවින් එවැනි ඖෂධ පාලනය කිරීමට සහ නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන ඒම වැලැක්වීම පිළිබඳවද මෙම සාකච්ජාවේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරනු ලැබීය. පාසල් සිසුන් මෙන්ම තරුණ පරපුර ඇතුළු සමස්ත ජනතාවම මෙම මත් උවදුරින් බේරාගැනීම සඳහා පවතින නීති කඩිනමින් දැඩි කිරීමටත් සිදුකරනු ලබන වැටලීම් මගින් ඒවා රටතුලට ගෙන එන ප්‍රබලයින් අල්ලාගැනීමට අවශ්‍ය කටයුතු යෙදීමටද, සියලු අංශ එක්ව ඉදිරියට ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදෙනු ලැබීය.

එම සාකච්ජාවේදී කරුණු රැසක් අනාවරණය වූ අතර දරුණු රෝග සඳහා ලබාදෙන වේදනා නාශක බෙහෙත් අධි මාත්‍රා සාහිතව ලබාගනිමින් මත්වීමට ක්‍රියා කරන පිරිස් සිටින බවත් ඔවුන් පාසල් තුල සහ පාසල් අවටද ක්‍රියාත්මක වන බවට පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් අංශයට තොරතුරු අනාවරණය වී ඇති බවද අනාවරණය විය. ඒ අනුව පොලීසිය කටයුතු කරමින් ඊට සම්බන්ධ පිරිස් නීතියේ දැලට කොටුකර ගැනීමට උත්සාහ කරන නමුත් පවත්නා ඖෂධ සහ මත්ද්‍රව්‍ය නීති ඊට ප්‍රමාණවත් නොවන බැවින් සිදුකරනු ලබන වැටලීම් සඳහා බාධා ඇතිවී ඇති බවද අමාත්‍යවරයාගේ කරුණු විමසීම් හමුවේ අනාවරණය විය.

අමාත්‍ය සාගල රත්නායක මහතා එම සාකච්ජාවට සහැභාගිව සිටි සියලු අංශයන්ට දැනුම්දෙනු ලැබුවේ මෙම මත් උවදුර කඩිනමින් මර්දනය කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීම අත්‍යවශ්‍ය බවත්, එය කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා හඳුනාගෙන ඇති බැවින් තමන් ඊට පුර්ණ සහයෝගය ලබාදෙන බවයි.

වැඩිදුරටත් නිලධාරීන් ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සඳහා මූලිකත්වය ගැනීමට තමන් සුදානම් බවත් ඊට අවශ්‍ය යෝජනා සහ විශේෂඥය උපදෙස් ලබාදීමට ක්‍රියා කරන ලෙසයි. ඒ අනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර මහතාට මිට මැදිහත්වී අනෙකුත් අමාත්‍යංශ සහ ආයතනද සමඟ එක්ව මත්ද්‍රව්‍ය වැටලීමට අදාළ අංශවලට බලය ලැබෙන පරිදි නීති සකස්කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය. එහි ප්‍රගතිය පිලිබඳ විස්තරද කඩිනමින් තමන් වෙත දැනුම්දෙන ලෙසත් ඒ අනුව ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම්කර මත්ද්‍රව්‍ය ලෙස යොදාගන්න ඖෂධ නිසි අවසරයක් නොමැතිව ලබාදීම පාලනය කිරීමට සහ වැටලීම් සඳහා අවශ්‍ය නීති සම්පාදනයටත්, ජාවාරම්කරුවන් විසින් මෙරටට ගෙන්වන මත්ද්‍රවය වැටලීමට හා නැවැත්විමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද අදාළ අංශ වෙත උපදෙස් ලබාදීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.

වැටලීම් කටයුතුවලදී ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව සහ අනෙකුත් ආයතන එක්ව කටයුතු කරන ලෙසත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ ඊට අදාළ සෙසු ආයතන නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ හැකියාව සොයා බලන ලෙසද අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා, පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී සහ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් මහතා, මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා යන නිලධාරීන් සහභාගී විය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය, තිපති දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය,සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය, ශ්‍රී ලංකා වෙරලාරක්ෂක අංශය, සෞඛ්‍ය සේවා , ආනයන – අපනයන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *