දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 21 ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 21ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත අමෙරිකා දේශපාලන කටයුතු පිළිබද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.

තෝමස් ෂැනන් මහතා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා අතර පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා ඇමෙරිකාවේ පූර්ණ සහාය ලබාදෙන බව ද මෙහිදී තෝමස් ෂැනන් මහතා ප්‍රකාශ කළේය.

තෝමස් ෂැනන් – ඇමෙරිකා දේශපාලන කටයුතු පිළිබද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්,

“ශ්‍රී ලංකාවත් ඇමෙරිකාවත් අතර මිත්‍රත්වය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ මානව හිමිකම් ආරක්ෂා කරන මූලික අයිතිවාසිකම් තහවුරු කරන සම්බන්ධතාවක්. අන් කවරදාටත් වඩා දෙරට අතර මිත්‍රත්වය වැඩි වී තිබෙන බව කියන්න කැමතියි. ඉන්දු පැසිපික් කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ජාත්‍යන්තර නීති හා ස්වෛරීත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීමේ විවෘත අවස්ථාවන් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඇමෙරිකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සදහා ඇමෙරිකා ඩොලර් මිලියන විසිඑකක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. එමගින් දේශීය හා කලාපීය වශයෙන්මෙරට කිරි ගොවීන් ශක්තිමත් කෙරෙනු ඇති. ඒ වගේම ශ්‍රී ලංකාවේ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඇමෙරිකාවේ ඉහළම මානව සම්පත්වල සහාය ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.”

මෙහිදී අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් ලැබෙන සහාය ඉතා පුළුල් මෙන්ම ශක්තිමත් වූවක් බවයි.

ප්‍රසාද් කාරියවසම් – විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්,

“ශ්‍රී ලංකාවේත් ඇමෙරිකාවේත් මිතුදම හේතුවෙන් වෙළෙද හා වානිජ ක්ෂේත්‍රයෙහි අන්තර් පුද්ගල සබදතාවන්හි අධ්‍යාපනික හා සංස්කෘතික අංශයන්හි මෙන්ම ආරක්ෂක අංශයේ ද ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. පරිපාලන දෙකක් යටතේ ඇමෙරිකාවේත් ශ්‍රී ලංකාවේත් සබදතා ප්‍රවර්ධනය කිරීමට තෝමස් ෂැනන් මහතා ලබා දුන් සහයෝගය මා ඉතා අගය කරනවා. දෙරට අතර සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි වඩා පුළුල් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. නීතිය ක්‍රියාත්මක කිරීම ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්තීන් අනුගමනය මූල්‍යමය සහ ණය පිළිබද අභියෝගයන්ට මුහුණදීම විනිවිදභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැනි ක්ෂේත්‍ර ගණනාවකට ඇමෙරිකාවේ සහාය අපට හිමිවන බව මම කියන්න කැමතියි. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *