සමස්ථ ආණමඩුවම තෙත් කරන යෝධ ජල ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුව මැතිවරණ කොට්ඨාශය ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට පිරිසිදු පානීය ජලය ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

ස්පාඤ්ඤ රජයෙන් ලැඛෙන විශේෂ ආධාර වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි අටදහස් හාරසිය විස්සකි.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ සමස්ථ ආණමඩුව මැතිවරණ කොට්ඨාශයටම ජලය ලබා දීමට නියමිතය. ව්‍යාපෘතිය යටතේ ස්ථාන හතරක මහා පරිමාණයේ ජල ටැංකි හතරක් ඉදිකරනු ඇත.

මහකුඹුක්කඩවල තරුණ ව්‍යාපාරයේ පළමු ජල ටැංකිය ඉදි වෙයි. දෙවැන්න ආණමඩුව ගම්උදා භූමියේද තෙවැන්න මුල්ලේගම ප්‍රදේශයේද ඉදිකිරීමට නියමිතය. සිව්වැනි ජල ටැංකිය ඉදිවන්නේ ඔලගන්විල්ලූව ප්‍රදේශයේය.

මේ අතර ඉගිනිමිටිය වැවට පහළ ප්‍රදේශයේ පොකුණක් ඉදිකිරීමට නියමිත අතර ජල පිරිපහදුව ඉදිවන්නේද එම ස්ථානයේය. ඉගිනිමිටියේ සිට දිවෙන නල පද්ධතිය කිලෝමිටර් 328 ක් පුරා දිවයන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම කුඹුක්වැව සිට මහකුඹුක්වැව දක්වා කිලෝමීටර් ගණනාවක් දුරට ඇල මාර්ගයක් ඉදි කෙරේ. එමගින් බලාපොරොත්තු වන්නේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍යවන ජලය ගෙන යාමයි. මීට අමතරව තවත් ඇල මාර්ග කිහිපයක්ද ඉදිකිරීමට නියමිතය.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු හෙළි කළේ පසුගියදා (06) ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. ඉතා දිගු කලක සිට ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ජනතාව ජලය සපයා ගැනීමේ බරපතල ගැටළුවලට මුහුණ දී සිටිති. කෙසේ වෙතත් තවත් ඉතා කෙටි කලකින් මෙම ගැටළුවට විසදුම් ලබා දීම හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *