පොදු සටන්කාමිත්වය පිළිබඳ ජනපති සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –පොදු සටන්කාමිත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය මහඟු පාඩමක් කියා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී සංවිධානය කොට තිබූ විශේෂ සැමරුම් උත්සවය අමතමිනි.

සාර් රජ පෙළපතේ වැඩවසම් පාලනයට විරුද්ධව 1917 දී ලෙනින් ගේ නායකත්වයෙන් දියත් වූ ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහණය හුදෙක් රුසියාව නොහොත් එදා සෝව්යට් දේශය විසින් පමණක් නොව සමස්ත මානව වර්ගයා විසින් දිනාගන්නා ලද ඓතිහාසික ජයග‍්‍රහණයක් ලෙස සැලකේ.

අද දවසේ ද ජනතාව නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා විප්ලවයට සූදානම් වූව ද ඊට නායකත්වය දිය හැකි නායකයින්ගේ අඩුවක් ලෝකයේ පවතින බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

රුසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවලට වර්තමානයේ ශක්තිමත් පදනමක් ලැබී ඇති බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා වසර 44 කට පසු රුසියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුට ලැබුණු පළමු ආරාධනය සනිටුහන් කරමින් තමන් එහි කළ සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වසරේ සිට දෙරට අතර පවතින, ආර්ථික වෙළෙඳ සබඳතා වඩා පුළුල් හා ශක්තිමත් වී ඇති බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සම්පාදනය කරන ලද ලාංකීය විද්වතුන්ගේ ලිපි එකතුවක් ඇතුළත් ,”ඔක්තෝබර් විප්ලවය ඉදිරියටම” යන ග‍්‍රන්ථය කොමියුනිට්ස් පක්ෂයේ අධ්‍යාපන අංශයේ ලේකම් අගා ජයසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්පන්දන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ශී‍්‍ර ලංකාවේ රුසියානු තානාපති, රුසියාවේ ශී‍්‍ර ලංකා තානාපති ඇතළු නිලධාරින් ද, ශී‍්‍ර ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩියූ ගුණසේකර මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් සහ විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *