ශ්‍රී ලංකාව ගමන්මාර්ගය ගැන අමෙරිකාවේ ගෞරවනීය අවධානය

(කොළඹ, ලංකාපුවත්) – මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ශ්‍රී ලංකාව ඉදිරියට යෑම පිළිබඳව අමෙරිකාවේ ගෞරවනීය අවධානය යොමු වී ඇති බව දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් තොම්සන් ඒ ෂැනොන් මහතා පවසයි.

අනගතයේ ශ්‍රී ලංකාව සමග සබඳතා තව තවත් ශක්තිමත් කරලීම සිය අභිප්‍රාය බව ද ඒ මහතා අවධාරණය කළේ පසුගිය 06වනදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ දී ය.

ෂැනොන් මහතා එහිසී පැවසූයේ ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවික ගමනාගමනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ උනන්දුව වෙනුවෙන් පූර්ණ සහය ලබා දීමට අමෙරිකාව සූදානම් බවය.

එසේම වෙරළාරක්‍ෂණ කාර්යයන් උදෙසා ශ්‍රී ලංකා නාවුක හමුදාව වෙත සිය අත්දැකීම් හා තාක්‍ෂණය ලබා දීම සම්බන්ධයෙන් ද සහකාර රාජ්‍ය ලේකම්වරයා අදහස් දැක්වීය.

කිරි ගොවිපල සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 21 ක ප්‍රදානයක් ලබා දීමට ද ක්‍රියා කරන බව ෂැනොන් මහතා පැවසීය.

ඉන්දීය සාගර කලාපය නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරන සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ නව සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ අභිප්‍රාය හා අභිලාශය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඉහළ මට්ටමින් සම්බන්ධතා ඇති කරලීමේ වැදගත්කම පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

ෂැනොන් මහතා සමග ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂප් මහතා ඇතුළු නිලධාරීහු ද මේ සාකච්ඡාවට එක් වී සිටියහ.

දක්‍ෂිණ සංවර්ධන හා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − seven =