අයවැය අද පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – ලබන වසර සඳහා වන අයවැය අද (09) පාර්ලිමේන්තුවට‍ ඉදිරිපත් කෙරේ. එය මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන පළමු අයවැය වේ.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මේ වන විට සකස්කර තිබේ. අද පස්වරු 3.00ට පමණ අයවැය කතාව සිදුකිරීමට නියමිතය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය පෞද්ගලික නිවස වන පානදුරේ පිහිටි දේදුනු අන්තය නිවසේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා සමග අයවැය අවසන් වාර්තා සකස් කිරීම ඊයේ සිදු කරන ලදි.

ණය බරින් රට නිදහස්කර ගැනීම ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කෙරෙන මෙවර අයවැයෙන් සංවර්ධන ඉලක්ක රැසක් ජය ගැනීම ද අපේක්ෂාව වී තිබේ.

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 09 වන දින මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

ඒ අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් වේ.

යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවන අයවැය මෙය වන අතර මංගල සමරවීර අමාත්‍ය වරයා ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට සිට ලබන 16 වන දින දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 16 වන දින පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන 17 වන දින සිට දෙසැම්බර් 09 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර 09 වන දින පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *