පොල් ගෙඩි ලක්ෂ 12ක් ලබන සතියේ සිට සතොසෙන්

(කොළඹ, ලංකාපුවත්) – ලබන සතියේ සිට ලංකා සතොස හරහා පොල් ගෙඩි ලක්ෂ 12ක් පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස සභාපති ආචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (08) කොළඹ සතොස ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේ අනුව ලබන සතියේ සිට ලංකාවේ ඕනෑම ලංකා සතොස අලෙවිසැළකින් පොල් මිල දී ගත හැකි බවත්, ලංකා සතොසට බෙදා හැරීම සඳහා ප්‍රමාණවත් පොල් තොග ලබා දීමට පශු සම්පත් මණ්ඩලය හා වැවිලි සමාගම් එකඟත්වය පළ කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ලබන සතිය වන විට පශු සම්පත් මණ්ඩලය පොල් ගෙඩි ලක්ෂ 05ක් ද, හලාවත වැවිලි සමගම පොල් ගෙඩි ලක්ෂ 03ක් ද, කුරුණෑගල වැවිලි සමාගම පොල් ගෙඩි ලක්ෂ 03ක් ද, ඇල්කඩුව වැවිලි සමාගම පොල් ගෙඩි ලක්ෂයක්ද ලබා දෙන බවත් ඒ අනුව පොල් ගෙඩි ලක්ෂ 12ක් ලබන සතිය වන විට ලංකා සතොස වෙත ලැබීමට නියමිත බවද සභාපතිවරයා සදහන් කළේය.

දෙසැම්බර් මාසයේ දී උත්සව සමය ඉළක්ක කරගෙන තවත් පොල් ගෙඩි ලක්ෂ 17 ක් ලංකා සතොස මඟින් බෙදා හැරීමට සැලසුම් කර ඇත.

මෙම වසරේ පැවති දැඩි නියගය නිසා පොල් ඵළදාව අඩුවූ නමුත් පොල් හිඟයක් නොමැති බවත්, සමහර ව්‍යාපාරිකයින් අනවශ්‍ය ලෙස පොල් තොග රැස්කර තබා ගැනීම නිසා වෙළෙඳපොළේ පොල් මිල මෙසේ ඉහළ ගොස් තිබුණි.

පසුගිය 07වනදා රැස්වූ ජීවන වියදම් අනුකමිටුව විසින් ගන්නා ලද තීරණයකට අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ උපදෙස් පරිදි ලංකා සතොස හරහා සහන මිලට පොල් බෙදා හැරීම කරන බවත් සභාපතිවරයා සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා පශු සම්පත් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී උපාලි ජයවර්ධන, හලාවත වැවිලි සමාගමේ සභාපති ආසිරි හේරත්, ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නිලූ විජේදාස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *