‘‘ඇයට බලයක් – රටට වෙනසක්‘‘ ජනපතිගෙන් කාන්තාවන්ට ලැබෙන වරම

(කොළඹ, ලංකාපුවත්) –”ඇයට බලයක් – රටට වෙනසක් ” තේමාව යටතේ පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (14) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබුවේ රාජ්‍ය සේවය තුළ කාන්තා නියෝජනය සුදුසු ආකාරයට පවතින නමුත් දේශපාලන ක්ෂේත‍්‍රයේ හා ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනයේ අඩුව බරපතළ ගැටලූවක් බවය.

එමෙන්ම වත්මන් රජය යටතේ කාන්තා නියෝජනය වෙනුවෙන් නීති සම්පාදනය කරමින් ක‍්‍රියාත්මක කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සමාජයේ ඇති වන බොහෝ ගැටලු සඳහා වෙනස් ආකාරයකින් කාන්තාවන් මුහුණ දෙන ආකාරය පෙන්වා දුන් ජනාධිපතිතුමා තම රජය කාන්තා නියෝජනයේ වැදගත්කම පිළිගෙන තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

ලොව සංවර්ධිත රටවල බොහෝ අංශයන් හි කාන්තා නියෝජනය වැඩි වශයෙන් හා සම වශයෙන් පවතින බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

මෙහිදී ”ඇයට බලයක් – රටට වෙනසක් ” තේමා ලාංඡනය හඳුන්වා දීම හා ෆේස් බුක් පිටුවක් ආරම්භ කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

දිවයින පුරා සිදුකළ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනේ වාර්තාව හා අත්සන් ලේඛනය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අතින් ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, චන්ද්‍රානී බණ්ඩාර, තලතා අතුකෝරාල, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරියන් වන අනෝමා ගමගේ හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ඇතුළු මහත්ම මහත්මීන්, තානාපතිවරුන් හා විදෙස් නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *