නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904කට පත්වීම් අද

(කොළඹ, ලංකාපුවත්) – නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද(15) සිදු කෙරේ.

එම උත්සවය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ද සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ඊයේ(14) සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක් අමතමිනි.

1995 වසරේ සමෘද්ධි ව්‍යාපාරයේ ඇරඹුමත් සමඟ බඳවා ගත් විශාල 20000ක පිරිසට පසුව එක්වර වැඩිම සංඛ්‍යාවකට පත්වීම් ලබා දෙන අවස්ථාව මෙය යි. දිළිඳුකම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ තිරසර අධිෂ්ඨානයෙන් යුක්තව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් මෙවර සැලසුම් ගත වැඩපිළිවෙළක් දියත් කිරීමට නියමිත ය. ඒ අනුව නොවැම්බර් මස 02,03,04 වැනි දිනයන්හි අමාත්‍යංශයීය ඉදිරි වැඩ කටයුතු සම්බන්ධව සැලසුම් කිරීම සහ ක්‍රමෝපාය සැලසුම් සැකසීමේ නේවාසික වැඩමුළුවක් කලා වැව දී පැවැත්විණි.

එමෙන් ම මේ වන විට ලංකාවේ විසිරී තිබෙන 1074ක් වන සෑම සමෘද්ධි බැංකුවකට ම අදාළව වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඊට අවැසි සියලු ම පහසුකම් ලබාදීමටත් සෑම සමෘද්ධි බැංකුවක් ම නවීන පහසුකම් සහිතව දියුණු කිරීමටත් මේ වනවිට අවශ්‍ය මූලික පියවර ගෙන අවසන් ය. එමෙන් ම සමෘද්ධි බැංකු හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීම, උකස් සේවාව මෙන් ම ලීසිං සේවාව ද ලබා දීමට අපේක්ෂිත ය. ඊටත් අමතරව සමෘද්ධි නිවාස ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතී. සමෘද්ධි ලොතරැයිය හරහා ද දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ වනවිට නිල පත්වීම් ලිපි නොලැබීම නිසා අපහසුතාවට පත්ව සිටින සමෘද්ධි නිලධාරින් සියලු දෙනාට ම නිල පත්වීම් ලිපි ලබාදීමේ වැඩපිළිවෙළ ද ආරම්භ වී ඇති අතර එය ලබන මස මුල වන විට අවසන් කිරීමට නියමිත ය.

මෙම පත්වීම් ප්‍රදානයෙන් පසුව මේ මස 21වන දින සිට සති තුනක නේවාසික ‘නායකත්වය හා ධනාත්මක චින්තනය වර්ධනය කිරීමේ පාඨමාලාවක්’ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ සම්බන්ධ වී මූලස්ථාන 14 දී ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඒ අනුව සැලසුම්ගත ක්‍රමෝපායයන් අනුව සමෘද්ධි ව්‍යාපාරය මෙහෙයවමින් උපාධිධාරීන්ගේ සහ උගතුන්ගේ ද සහාය ඇතිව දිළිඳුකම මෙරටින් තුරන් කිරීමේ කටයුත්ත සාර්ථක කරගැනීමට ද තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *